බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 40 දෙනකු ඉල්ලීම් රැසක් මුල්කරගෙන ඊයේ (10 වැනිදා) උදෑසන ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත. බූස්සේ මුළු රැඳවූවන් ගණන 45කි. පාතාල නායක පොට්ට නවුෆර් ඇතුළු ප්‍රධාන අපරාධකරුවන් පස්දෙනකු පමණක් වර්ජනය නොතකා කෑම ලබාගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක ‘අරුණ’ට පැවසීය.
මෙම වර්ජනයේදී තම ඉල්ලීම් ලෙස ඉදිරිපත් කර ඇත්තේ දැඩි පරීක්ෂාවන් නැවත්වීම, නීතිඥවරුන් බුස්සේදී පරීක්ෂා කිරීම නැවැත්වීම, දුරකථන ඇමතුම් ලබාදීමට අවස්ථා සැලසීම, නීතිඥවරුන් හමුවීමට දෙන විනාඩි තිහේ කාලය පැය දකවා වැඩි කිරීම, ආපන ශාලාවෙන් ආහාර හා වෙනත් දේ ගැනීමට මසකට අනුමත රුපියල් අටදහස ප්‍රමාණවත් නොවීම යන කරුණුය.
දැනට වර්ජනයේ නිරතවී ඇත්තේ මහා පරිමාණ කුඩු ජාවාරම් හා අපරාධවල ප්‍රබලයින් ලෙස වර්ග කළ අය බව බන්ධනාගාර දෙපාර්තමේන්ව කියයි.
සිරකරුවන් වර්ජන කළත් ආරක්ෂාව සම්බන්ධව ගෙන ඇති පියවර කිසිසේත් වෙනස් නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ‘අරුණ’ට පවසා සිටියේය.
කිසි ලෙසකින් පරීක්ෂා කිරීම් නවත්තන්නේ නැහැ. මේක අධි ආරක්ෂිත බන්ධනාගාරයක් නිසා නීතිඥවරුනුත් රෙජිස්ටර් කරලා ගන්නේ. කොවිඩ් නිසා සිරකරුවන්ගේ දරුවන්ට ඔවුන් බලන්න එන්න දුන්නේ නැහැ. ඒ අවස්ථාව සලසා දීම හැර වෙනත් කිසිදු කොන්දේසියකට එකඟ විය නොහැකි යැයිද හෙතෙම සඳහන් කළේය.
(Aruna)