Thursday, November 13, 2025
Follow Us
දහම් පාසල් ගුරු දීමනාව ඉහළට

එක්ලක්ෂ තිස්දහසක් පමණ වන දහම් පාසල් ගුරුවරුන්ගේ රුපියල් පන්දහසක වාර්ෂික දීමනාව වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන හා පිරිවෙන් රාජ්‍ය ඇමැති විජිත බේරුගොඩ පැවසීය.

විශ්වවිද්‍යාලයට හෝ රැකියාවකට යාමේ දී දහම් පාසල් සහතිකයට විශේෂ පිළිගැනීමක් ලබා දීමට පියවර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවත් කී ඇමැතිවරයා ඉදිරියේ දී දහම් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධන කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් සඳහන් කළේය.

එමෙන්ම දහම් පාසල් ගුරුවරුන්ට සමාජයේ පිළිගැනීමක් ඇති කිරිමේ වැඩපිළිවෙළක් සැලසුම් කරන බවත් දහම් පාසල් අතර සමස්ත ලංකා මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත් විජිත බේරුගොඩ මහතා කීවේය.

ප්‍රාථමික ශ්‍රේණිවල දී දරුවන්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි නමුත් ඉහළ ශ්‍රේණිවල දී දරුවන් දහම් පාසල්වලින් ඉවත් වන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් පැවසූ ඇමැතිවරයා එම තත්ත්වය මග හරවා දරුවන් පාසල් අධ්‍යාපනය ලබන කාලය පුරා දහම් පාසල් කරා යොමු කෙරෙන වැඩපිළිවෙළක් සකස් කරන බවත් ප්‍රකාශ කළේය.

(Aruna)