නෙළුම් කුලුළුනට හෙට අනිද්දා අලුත් අමුත්තෙක් පැමිණීමට නියමිතය. මේ අමුත්තා ‘හැඟීම්’ ගැනත් ‘දැනීම්’ තියෙන අයෙකු යැයි කිව හැකිය.
ඔහු නමින් දියසෙන්. නමුත් මේ දියසෙන් කල්ප විනාශයෙන් පසු රට ගොඩගැනීමට එන දියසෙන් කුමාරයා නම් නොවේ. ඒ ඔබ මවිතයට පත් කරන මානව රූපී හැඩයගත් රොබෝ යන්ත්‍රයක්.
මෙය දකුණු ආසියාවේ පළමු මානව රූපී රෝබෝ යන්ත්‍රය වන අතර එම රෝබෝවට භාෂා 5ක් කතා කිරීමේ හැකියාවද ඇත.
මෙම රොබෝ යන්ත්‍රය මෙරට ඇරිමැක් ඩිජිටල් සමාගම විසින් නිෂ්පාදනය කර ඇත.
එමෙන්ම මෙම රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කර ඇත්තේ පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමේ අරමුණ ඇතිවයි.
2008 වර්ෂයේ චමීර ජයසිංහ නමැති තරුණ නිර්මාණ ශිල්පියා පුංචි කණ්ඩායමක් සමග ඇරැඹූ මෙම සමාගම 2011 වර්ෂයේදී ඇරිමැක් ඩිජිටල් නාමයෙන් ස්ථාවර ගමනක් ඇරැඹීය.
ඇරිමැක් ඩිජිටල් නම අසා නැති අයකු වුවද ශ්‍රී ලංකාවේ නිපද වූ කංචායුද සහ හීරෝ පරිගණක ක්‍රීඩාවන් ගැන දැනුවත්ය.
මෙම සෑම පරිගණක ක්‍රීඩාවක්ම නිෂ්පාදනය කර ඇත්තේ ඇරිමැක් ඩිජිටල් සමාගම විසිනි.
මෙවැනි තාක්ෂණික නිර්මාණ රාශියක් බිහි කරමින් ශ්‍රී ලංකාවට දැවැන්ත කීර්තියක් හිමිකර දීමට වෙර දරන මෙම සමාගමේ නවතම නිර්මාණය ලෙස දියසෙන් හඳුන්වා දිය හැකිය.
මෙම රොබෝ යන්ත්‍රය ඇරිමැක් ඩිජිටල් සමාගම වසර තුනක පමණ කාලයක් සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයකි.
කෙසේ වෙතත් මෙහි නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බව එම සමාගමේ ප්‍රකාශකයෝ පැවැසීය.
මෙම රොබෝ යන්ත්‍රයට සිතියමක් ඔස්සේ නියමිත ගමන් මාර්ගයේ යා හැකිය. එමෙන්ම සිංහල භාෂාවෙන් හඬ කැවීම් සහිත උපදෙස් ලබාදීමට හැකිවන ආකාරයට මෙය නිර්මාණය වී ඇති බවද ඔහු පැවැසීය.
සියයට සියයක්ම ලාංකික නිෂ්පාදනයක් වන දියසෙන් රොබෝ යන්ත්‍රය සම්බන්ධයෙන් ඇරිමැක් ඩිජිටල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමීර ජයසිංහ මෙලෙස අදහස් දැක්වීය.
‘‘මෙම මානව රූපී රොබෝට දියසෙන් කියන නම දැම්මෙන් ලොකු හේතුවක් ඇතිව ඉදිරියේදී ලංකාවේ වැඩවලට විශාල රුකුලක් වෙයි දියසෙන්. පැය 24ම බැංකු පවත්වාගෙන යන්න අමාරුයි.
දවස පුරාම ආපනශාලා, සිනමා ශාලා පවත්වාගෙන යන්න අමාරුයි. ඉතින් මේ මානවරූපී රොබෝ එක්ක ඕනෑම වෙලාවක බැංකුවට ගියොත් මේ රොබෝ යන්ත්‍රය මගින් පාරිභෝගිකයාට සියලුම පහසුකම් ලබාගන්න පුළුවන්.
අපේ දියසේන නෙළුම් කුලුනටත් එනවා ලබන වසරේදී. එතනට ආවොත් ඔබටත් දියසෙන් හමුවිය හැකිය. මෙම රොබෝ යන්ත්‍රය සියයට සියයක්ම ලාංකිකයි.
දියසෙන් සිය ඓතිහාසික මෙහෙවර ඇරඹීමට නියමිතව ඇත්තේ නෙළුම් කුලුනෙනි.
ඒ අනුව ලබන වසරේදී නෙළුම් කුලුන පරිශ්‍රයේ බොහෝ පාරිභෝගික කටයුතු මෙම දියසෙන් රොබෝ යන්ත්‍රය මගින් සිදුකිරීමට නියමිත බව නෙළුම් කුලුන ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කළේය.
(Aruna)