Friday, April 18, 2025
Follow Us
සංචාරක කර්මාන්තයට ජාතික සංචාරක කොමිෂන් සභාවක්

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

සංචාරක කර්මාන්තය මෙරට ප්‍රමුඛ කර්මාන්තයක් වන බවත් මෙම වසරේ දී සංචාරකයන් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්කය වන බවත් සඳහන්කළ නියෝජ්‍ය අමාත්‍යවරයා තිරසර සංචාරක ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් සංචාරක අමාත්‍යංංශය කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

රජය බලයට පත් වූ විගස, පැවති වීසා ගැටලුව විසඳීමට කඩිනමින් කටයුතුකළ බවත්, ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය. පළාත් සංචාරක ආයතන සියල්ල ඒකාබද්ධ කරමින් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිස් අතරින් 8000ක පමණ පිරිසක් රජයේ ලියාපදිංචි වී ඇති අතර, අවිධිමත් සංචාරක කර්මාන්තයේ නිරත පිරස් කඩිනමින් ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

විදේශීකයන් මෙරට ව්‍යාපාර කටයුතුවල නිරත වීම හේතුවෙන් ගැටලු ඇතිවූ බවත් මේවනවිට එම ගැටලු ක්‍රමානුකූලව විසඳමින් පවතින බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශය සතුව ඉඩම් භාවිත කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද ඒ මහතා  පෙන්වා දුන්නේය.

ඇල්ල , ගාල්ල , සීගිරිය ආදී ප්‍රධාන සංචාරක ආකර්ශනය සහිත ස්ථාන ආශ්‍රිතව හදිසි ප්‍රතිකාර ඒකක පිහිටුවීමට කටයුතු කරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සංචාරක ගමනාන්තවල මූලික පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසීය.