Wednesday, May 27, 2026
Follow Us
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් COPEවෙතට

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගත් ආකාරය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE/ කෝප්) විසින් වාර්තාවක් කැඳවනු ලැබීය.

ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවා ගැනීමේදී, පැවති දේශපාලන අධිකාරීන්ගේ බලපෑමට යටත්ව එම පත්වීම් සිදුව ඇත්දැයි පරීක්ෂා කළ යුතු බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. ඇතැම් බඳවාගැනීම් සහ උසස්වීම් ලබාදීම් හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් අද්ගතවී ඇති බව නිරීක්ෂණය වන බවද කාරක සභාව පෙන්වා දෙනු ලැබීය. එසේම අධිකාරිය සතු මානව සම්පත නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කිරීමට මාස 06ක් ඇතුළත කටයුතු කරන ලෙසද කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

අධිකාරියට එරෙහිව 2023 වර්ෂයේදී සහ අධිකාරිය විසින් පවරන ලද නඩු සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම නඩුවලට අදාළව අධිකරණයේ තැන්පත් කර ඇති මුදල් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් කාරක සභාවේදී සාකච්ඡා වූ අතර, මේ පිළිබඳ වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා නිර්දේශ කළේය.

නිවාස සහ වෙළඳ සංකීර්ණයක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා විදේශීය සමාගමකට ලබාදී තිබූ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි අක්කර 01යි පර්චස් 26.5 ක ඉඩමක්, නියමිත සංවර්ධන කාර්යය ඉටු නොකර වෙනත් සමාගමකට පවරා ඇති බව කෝප් කමිටුව හමුවේ හෙලිදරවු විය. පසුව දෙවන සමාගම විසින් තෙවැනි සමාගමකට 2017 වර්ෂයේදී උක්ත ඉඩමේ අංක 5 කොටස විකුණා තිබුණි. පසුව අධිකාරිය විසින් එම විකුණුම් ඔප්පුව අවලංගු කරීම නිසා, ඊට එරෙහිව තෙවැනි සමාගම විසින් නඩු 03ක් අධිකරණය හමුවේ පවරා තිබුණු බව ප්‍රකාශ වුණි. මේ සම්බන්ධයෙන්ද කාරක සභාවේදී දීර්ඝව සලකා බැලුණු අතර පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මීට අදාළව මෙම නඩු වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක්ද පවතින බව පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම මෙම ඉඩමේ අයිතිය තවමත් අධිකාරිය සතු පවතින බවද පැමිණි නිලධාරීහු පැවසූහ.

එමෙන්ම නාවල පරංගියා කුඹුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම කොන්දේසි සහිතව සින්නක්කර ඔප්පුවක් මගින් පෞද්ගලික සමාගමකට පවරා තිබුණි. පසුව එම සමාගම ඉඩමෙන් කොටසක් වෙනත් සමාගමකටද පවරා ඇති අතර අනෙත් කොටස, පෞද්ගලික බැංකුවකට උකස් කර මුදල් ලබාගෙන තිබුණි. මෙම ඉඩමේද ඔප්පු අධිකාරිය විසින් අවලංගු කිරීම නිසා චූදිත සමාගම, අධිකාරියට විරුද්ධව නඩු පවරා තිබුණි. එසේම මෙම ඉඩම තම‍ාගේ පෞද්ගලික ඉඩමක් ලෙස ප්‍රකාශ කරමින් අයිතිය ලබාගැනීම සඳහා පුද්ගලයෙක් විසින් අධිකරණයෙහි නඩු පවරා ඇති බවද මෙහිදී අනාවරණය විය. මෙම නඩු තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්හ.

තවද මාලිගාවත්ත මහල් නිවාසය තුළ පවත්වාගෙන යන පෙර පාසලකට අදාළ ඉඩම් කොටසක් සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (නීතීඥ) දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, (නීතිඥ) සුජීව සේනසිංහ, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, සමන්මලී ගුණසිංහ, සුනිල් රාජපක්‍ෂ, තිලිණ සමරකෝන්, සුදත් බලගල්ල, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, (නීතිඥ) නිලන්ති කොට්ටහච්චි, (නීතිඥ) ලක්මාලි හේමචන්ද්‍ර සහ දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.