“ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙම පනත් කෙටුම්පත හෝ එහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද කථානායකවරයා නිවේදනය කළේය.
“මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු 22 වන වගන්තිය සහ 39 වන වගන්තිය හැර, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. කෙසේ වෙතත්, අධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 22 වන වගන්තිය සහ 39 වන වගන්තිය සංශෝධනය කළහොත්, එම වගන්ති ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද කථානායකවරයා සඳහන් කළේය.
උක්ත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අද දින (19) කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද කථානායකවරයා නියෝග කළේය.