පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද ( 23) කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ඒ අනුව පාර්ලිමේන්තුව පෙබරවාරි 3,5 සහ 6 දිනවල රැස්වීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුව රැස්වන මෙම දින ත්රිත්වයේදීම පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
2026 පෙබරවාරි 3 වැනි අඟහරුවාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා ශ්රී ලංකා විදුලි සංදේශ පනත යටතේ අංක 2396/32 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව ඇත.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පක්ෂය) විවාදයට ගැනේ.
2026 පෙබරවාරි 5 වැනි බ්රහස්පතින්දා ශ්රී ලංකා තත්ය දේපළ වෘත්තීකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී ඇත. එසේම පාර්ලිමේන්තුවේ දැනට පළමුවර කියවා ඇති කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්ර ලබාදීමේ පනත් කෙටුම්පත සහ නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්රා ක්රියාකරුවන් නොවන පොදු ප්රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්ර ලබාදීමේ (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 121 ව්යවස්ථාව ප්රකාරව ශ්රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත් දෙකට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.
2026 පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය වී තිබේ. ඒ අනුව පහත සඳහන් පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.
1. හේෂා විතානගේ මහතා - ජාතික ක්රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්රීඩක ක්රීඩිකාවන්ට ක්රීඩා ක්ෂේත්රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම.
2. චමින්ද විජේසිරි මහතා - ශ්රී ලංකා විදේශ සේවයේ පත්වීම් ලබාදීම විධිමත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම.
3. රවී කරුණානායක මහතා - ශ්රී ලංකාවේ ක්රීඩා ආයතන දේශපාලනීකරණයෙන් තොර කිරීම.
4. ලාල් ප්රේමනාත් මහතා - බිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම.
5. ගරු රෝහණ බණ්ඩාර මහතා - මහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම.
6. නලින් බණ්ඩාර ජයමහ මහතා - ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීම.
7. රවීන්ද්ර බණ්ඩාර මහතා - ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්ර වලට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්රමවේදයක් සකස් කිරීම.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය) විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.
තවද ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරයන් නොවන සාමාජිකයන් තිදෙනාගේ ධුර කාලය පසුගියදා අවසන්වී ඇති බැවින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41 අ (4) සහ (5) ව්යවස්ථා අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරයන් නොවන සාමාජිකයන් තිදෙනාගේ නව පත්කිරීමට අදාළ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ අනුමතිය ලබාගැනීම සඳහා සභාවේ විශේෂ අවසරය සහිතව අද දිනයේම (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබේ.