Friday, January 09, 2026
Follow Us
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ රෙගුලාසිවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

බලයලත් තැනැත්තන්ගේ සේවා නියුක්තයන් සඳහා ආදායම් බදු නිදහස් කිරීම් සීමා වේ -  දැනට පවතින ආයතන සඳහා වසර 3 ක  නිදහස් කාලයක් - කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පැහැදිලි කරයි.

  • කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පතට සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලුණු අතර, සංශෝධනය මඟින් නව  බලයලත් තැනැත්තන්ගේ සේවා නියුක්තයන් සඳහා ආදායම් බදු නිදහස් කිරීම් සීමා කොට ඇත. කෙසේ වෙතත් දැනට පවතින ආයතන සඳහා වසර 3 ක නිදහස් කාලයක් හිමිවන බවත් පැමිණ සිටි නිලධාරීහු ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

බලපත්‍ර ලබා දෙන තෙක් ඇතැම් ගෙවීම් සඳහා කාලය හිමිවීමෙන් ආයෝජකයින්ගේ මූලික පිරිවැය අඩු වීම සහ යෝජිත අයදුම්පත් ගාස්තු ඇතුළු ගාස්තු පිළිබඳව  කමිටුව විසින් විමසන ලද අතර, සංශෝධිත ව්‍යුහය තරඟකාරී සහ විනිවිදභාවයෙන් පැවතීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

මූල්‍ය රෙගුලාසිවලට අනුකූලතාව සහතික කිරීම සඳහා රුපියල් ඉපැයීම්, මුදල් පරිවර්තනය සහ ආරක්ෂණ ක්‍රම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත පිළිබඳව ද කාරක සභාව විසින් විමසීම් සිදුකරන ලදී.

වරාය නගර අක්වෙරළ බැංකු මෙහෙයුම් සහ දේශීය බැංකු ක්‍රියාකාරකම් අතර වෙනස්කම් සහ නියාමනය හා  අධීක්ෂණය පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ප්‍රාග්ධනය, ද්‍රවශීලතාවය, පාලනය ඇතුළු මහ බැංකුවේ වැඩිදියුණු කළ අධීක්ෂණ භූමිකාව  පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.

වරාය නගරය තුළ නිර්නායක සඳහා අනුකූල නොවීම, අදාළ දඩමුදල් ආදිය සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, වරාය නගරයේ කටයුතු විනිවිදබවකින් යුතුව අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා අධීක්ෂණය සහ ශක්තිමත් ආරක්ෂණ ක්‍රමවල අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සංශෝධන මගින් වරාය නගර අපේක්ෂිත රාමුව  ක්‍රියාත්මක කිරීම, නව ව්‍යාපාර කටයුතු අනුමත කිරීම සහ මූල්‍ය විනය, විනිවිදභාවය සහ ජාත්‍යන්තර සබඳතා සමඟ ආයෝජන ආකර්ෂණය ඇති කිරීම අරමුණු කර ගෙන ඇති බව නිලධාරීන් සඳහන් කළහ.

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි ද කාරක සභාව විසින් සැලකිල්ලට ගන්නා ලදී. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට විදේශීය පරිත්‍යාගශීලීන් විසින් පරිත්‍යාග කරන ලද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හෝ ඕනෑම රජයේ ආයතනයක නාමයෙන් ලැබුණු සහන භාණ්ඩ බදු නිදහස් කිරීම්, ක්‍රමවත් ක්‍රියා පටිපාටියකට අනුව සහ කඩිනමින් නිෂ්කාශනය සහ බෙදා හැරීම සඳහා මෙම රෙගුලාසි නිකුත් කර ඇත.

අවශ්‍ය නීතිමය විධිවිධාන සහ අනුමැතීන් තිබියදීත්, ආපදා කළමනාකරණ අරමුදල ස්ථාපිත නොකිරීම පිළිබඳව කාරක සභාව  මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කළේය. තවදුරටත් ප්‍රමාදයන් පැවතුනහොත් ඇතිවිය හැකි ගැටලු සැලකිල්ලට ගනිමින්, “Rebuilding Sri Lanka ” අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස ස්ථාපිත කිරීමේ වැදගත්කම කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව, කාරක සභාව විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි අනුමත කරන ලදී.

මෙම කාරක සභා රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරයන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, නීතිඥ රවුෆ් හකීම්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පිකා හෙට්ටිආරච්චි, සුනිල් රාජපක්ෂ, අජිත් අගලකඩ සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.