රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා සකස් කළ අදහස් හා යෝජනා ඇතුළත් අතුරු වාර්තාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් හා විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා හා අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදුවිය. එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින් මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා විය. මේ ගැටලුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් පැවසීය.
මෙම කාරක සභාව සඳහා ගරු පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා, කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.