Tuesday, October 14, 2025
Follow Us
දසවැනි පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් දෙකක් ස්ථාපිත කෙරේ
ශ්රී ලංකා - බෙලරුස් පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ලෙස අමාත්ය (වෛද්ය) ධම්මික පටබැඳි මහතා තේරී පත් වේ.
ශ්රී ලංකා - බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ලෙස (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා තේරී පත් වේ.
 
මෙරට පාර්ලිමේන්තු රාජ්ය තාන්ත්රිකභාවය තවදුරටත් ශක්තිමත් කරමින් සහ ජාත්යන්තර සහයෝගීතාව තවදුරටත් වර්ධන කරමින් දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්රී ලංකා - බෙලරුස් සහ ශ්රී ලංකා - බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්රත්ව සංගම් පසුගියදා ස්ථාපිත කෙරිණි.
 
මෙම සංගම් පිහිටුවීම සඳහා වූ රැස්වීම් දෙකක් 09.10.2025 දින පාර්ලිමේන්තු පරිශ්රයේදී කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. අමාත්යවරුන්, නියෝජ්ය අමාත්යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරු පිරිසක් මෙන්ම පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.
 
ශ්රී ලංකා - බෙලරුස් පාර්ලිමේන්තු මිත්රත්ව සංගමය පිහිටුවීම සඳහා පැවති රැස්වීමේදී, පරිසර අමාත්ය (වෛද්ය) ධම්මික පටබැඳි මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය. ශ්රී ලංකාවේ බෙලරුස් ජනරජයේ තානාපති මිහායිල් කස්කෝ මහතා (Mikhail Kasko) මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙහිදී,  පාර්ලිමේන්තු මන්ත්රී (වෛද්ය) පත්මනාදන් සත්යලිංගම් මහතා සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් වූ අතර,  පාර්ලිමේන්තු මන්ත්රී (මහාචාර්ය) සේන නානායක්කාර මහතා සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය.
 
මේ අතර, ශ්රී ලංකා - බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්රත්ව සංගමය ස්ථාපිත කිරීමේ රැස්වීමේදී, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.  නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් මහතා ලේකම්වරයා ලෙස තේරී පත් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්රී පද්මසිරි බණ්ඩාර මහතා භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය. මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස් (Andalib Elias) මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
 
මෙම රැස්වීම්වලදී, ශ්රී ලංකාව සහ අදාළ රටවල් අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ සහ සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු රාජ්ය තාන්ත්රිකභාවය, අන්යෝන්ය අවබෝධය සහ වෙළඳාම, අධ්යාපනය, සංස්කෘතිය, පරිසරය, ජනතාව අතර සබඳතා වැනි ක්ෂේත්රවල වර්ධනය සඳහා නව ප්රවේශ නිර්මාණය කර ගැනීමට මෙම මිත්රත්ව සංගම් පිහිටුවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.