Saturday, October 04, 2025
Follow Us
කෝප් කමිටුව යටතේ අධීක්ෂණයට ලක්වන රාජ්‍ය ආයතන 457 ක ප්‍රධානීන්ට පාර්ලිමේන්තුවේදී වැඩමුළුවක්
  • රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ මෙන්ම කෝප් කමිටුව පිළිබඳ පොදු මතය වෙනස් කිරීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට මෙන්ම කෝප් කමිටුවට තිබෙනවා - කොප් සභාපතිවරයා පවසයි
  • කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන සියලු ආයතන ප්‍රධානීන් කැඳවා දැනුවත් කිරීමක් සංවිධානය කළේ පළමුවරට
  • සෑම ආයතනයකම ක්‍රියාකාරීත්වය වසරක කාලයක් තුළ අධීක්ෂණය වන පරිදි නව වැඩපිළිවෙළක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විමර්ශනයට ලක්වන රාජ්‍ය ආයතන 457 ක ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.  කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන ආයතන 457ක සභාපති, අධ්‍යක්ෂ ජනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී හෝ ‍වෙනත් ප්‍රධාන තනතුරු දරන 700කට ආසන්න පිරිසක් කණ්ඩායම් තුනක් ලෙස කැඳවා මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.   

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේ සම්පත් දායකයන් ලෙස  වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.වී.සී දිල්රුක්ෂි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. එස්.එම් ද සිල්වා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ඒ කරුණාරත්න සහ ආර්.කේ ජයලත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

මෙහිදී අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ  සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ මෙන්ම කෝප් කමිටුව පිළිබඳ පොදු මතය වෙනස් කිරීමේ වගකීම ආයතන  ප්‍රධානීන්ට මෙන්ම කෝප් කමිටුවට ඇති බවයි. ඒ අනුව මෙම වැඩමුළුව ඔස්සේ ලබන දැනුවත්බව හා සාකච්ඡාව නව ආරම්භයක් බවත් පැවති  අඩුපාඩු මඟහරවා නිවැරදි දිශානතිය වෙත මෙම ආයතන ගෙනයාම සියලු දෙනාගේම අපේක්ෂාව බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම කෝප් කමිටුව යටතට ගැනෙන සියලු ආයතන ප්‍රධානීන් එකවර කැඳවා මෙවැනි දැනුවත් කිරීමක් සංවිධානය කළේ ඉතිහාසයේ පළමුවරට බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය.

පවතින පනතට අනුගත නොවන අවස්ථා, පවතින නෛතික ප්‍රතිපාදන වැරදි ලෙස අර්ථකථනය කොට කටයුතු කරන අවස්ථා, පවතින වගන්ති වර්තමානයට අනුකූල නොවීම නිසා ඒවා සංශෝධනය නොකර රිසි සේ කටයුතු කරන අවස්ථා වැනි මූලික දූර්වලතා මගහරවා ගත යුතු බවත් සමරවීර මහතා පෙන්වා දුන්නේය. පනතේ යල්පැනගිය වගන්ති පවතීනම් ඒවා කඩිනමින් වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා අවධාරණය කළේය.  

කාරක සභාව හමුවට නිලධාරීන්  කැඳවීම, ප්‍රශ්න කිරීම හෝ ඔවුන් වැරදිකරුවන් ලෙස හුවා දැක්වීම සිය කාරක සභාවේ අපේක්ෂාව නොවන බවත් කාරක සභා සභාපතිවරයා පැවසීය.   සිය සීමාවන් තුළ කිසිදු බියකින් තොරව නිර්මාණශීලිව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැති බවත් තීරණ ගැනීමට නොහැකි බවට ඇතැමුන් ව්‍යාජ මත නිර්මාණය කිරීමට උත්සහ කරන බවත් ඒ මහතා පැවසීය. එසේම අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ඒ මහතා අවධාරණය කළේය.

කෝප් කමිටුව තුළ අනාවරණය වන දූෂණ සහ වංචා පිළිබඳ නීතිමය පියවර ගැනීමට යොමු කිරීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන බවත් කෝප් සභාපතිවරයා සඳහන් කළේය. වසරක කාලසීමාවක් තුළ සෑම ආයතනයක්ම කැඳවිය නොහැකි බැවින් මෙම  ආයතන 457හිම ක්‍රියාකාරීත්වය සෑම  වසරක කාලයක් තුළ අධීක්ෂණය වන පරිදි නව වැඩපිළිවෙලක් හදුන්වා දෙන බවත් කෝප් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.   එසේම ඉදිරියේදී කෝප් කමිටුවට කැඳවන ආයතන අනුපිළිවෙල තීරණය කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

විනිවිද බව සහ වගවීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා ජාතික විගණන කාර්යාලයේ කාර්ය භාර්ය පිළිබඳව මෙහිදී වැඩබලන විගණකාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය. එසේම ආයතනවල සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලස්ම, ආයතනික ව්‍යුහයන්, වාර්ෂික වාර්තා, අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රියාකාරීත්වය, අයවැය කළමනාකරණය, සේවකයන් බඳවා ගැනීම් හා පුරප්පාඩු පිරවීම් ආදි කරුණු නිවැරදිව සිදුවිය යුතු ආකාරය සහ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳව මෙහිදී ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීම සිදුවිය. එසේම ආයතන ප්‍රධානීන්ට ද ප්‍රායෝගික ගැටලු  සහ යෝජනා කාරක සභාවේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවූ අතර ආයතන ප්‍රධානීන්ගේ යෝජනා හා අදහස් කාරක සභාව වෙත දන්වා එවන මෙන් කෝප් සභාපතිවරයා දැනුම් දුන්නේය.

තවද මෙම ආයතනවල නීති නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා තවත් වැඩමුළු ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය.

කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, අසිත නිරෝෂණ එගොඩ විතාන යන මහත්වරුද පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ  සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) එම්.ජයලත් පෙරේරා, හිටපු විගණකාධිපති හා කෝප් සහ කෝපා කමිටු උපදේශක එස්.සී මායාදුන්නේ සහ හිටපු මහාධිකරණ විනිසුරු හා කෝප් කමිටු උපදේශක පියසේන රණසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.