අද (24) පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයට ගැනීමට නියමිත (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී. ඒ උක්ත කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී (වෛද්ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදිය.
එහි දී කමිටුවේ සභාපතිවරයා පැවසුවේ දරුවන් ඉලක්ක කරගත් ශාරීරික දඬුවම් සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්රම අවසන් කිරීම සහ එවැනි අපරාධ සඳහා නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී ඇති බවයි.
ළමා රැඳවුම් මධ්යස්ථාන සහ පාසල් ඇතුළු විවිධ ස්ථානවල දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් නැවැත්වීමට ප්රමාණවත් නීතිමය විධිවිධාන ශ්රී ලංකාවේ දිගු කලක් තිස්සේ නොතිබිණි. මේ සම්බන්ධයෙන් සමාජය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් පැවති අතර, තත්ත්වය වෙනස් කිරීම සඳහා නීතිමය විධිවිධාන ගෙන ආ යුතු බවට සාකච්ඡා කෙරිණි. එනිසාම මෙම ගැටලුව සම්බන්ධයෙන් නීතියක් සම්පාදනය කිරීමේ අවශ්යතාවය විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ ජාත්යන්තර සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් විසින් අඛණ්ඩව අවධාරණය කර ඇති බවත් ඒනිසා ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස දණ්ඩ නීති සංග්රහය සංශෝධනය කරමින් උක්ත පනත් කෙටුම්පත ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතාඅමාත්යාංශය නියෝජනය කළ නිලධාරීහු පෙන්වා දුන්හ.
අධ්යාපන අමාත්යාංශය සහ ගුරු වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කළ බව කාරක සභාවට සහභාගී වූ නිලධාරීහු පැවසූහ. මෙය කිසිවිටෙකත් ගුරුවරුන් ඉලක්ක කරගත් පනතක් නොවන බවත්, දරුවන්ට ශාරීරිකව දඬුවම් කරන ඕනෑම කෙනෙකුට අදාළ වන නීතියක් බවත් නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
මෙම රැස්වීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්රීවරයන් වන මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, සෙල්ලතම්බි තිලකනාදන්, නීතිඥ තුෂාරි ජයසිංහ, මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අජිත් පී. පෙරේරා, නීතිඥ චමින්ද්රාණී කිරිඇල්ල, නීතිඥ චිත්රාල් ප්රනාන්දු, නීතිඥ අනුෂ්කා තිලකරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.