අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.
මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍යමය ස්වාධීනත්වයක් පවතින බවත් එම ආයතන මෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මූල්‍ය ස්වාධීනත්වයක් ලබාදීම වැදගත් බවයි. එමගින් පවතින දේශපාලන අධිකාරියෙන් බැහැරව ඕනෑම රජයක් යටතේ වඩාත් ස්වාධීනව කටයුතු කිරීමට එම ආයතන වලට හැකි බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මේ නිසා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කාරක සභාව තීරණය කිරීමද මෙහිදී සිදු විය.
එසේම කොමිෂන් සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ කමිටු සාමාජිකයින්ගේ පාරිශ්‍රමිකය අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකයට අනුරූප සකස් විය යුතු බවට මෙම කාරක සභාව පෙන්වා දුන් බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පවසන ලදි. ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ පාරිශ්‍රමිකය සංශෝධනය වන ආකාරයෙන් මෙම නිලධාරීන්ගේ පාරිශ්‍රමිකය ද සංශෝධනය විය යුතු බව කාරක සභාවේ සභාපතිරයා පෙන්වා දුන් අතර ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම සිදු කරන බවද හෙතෙම පැවසීය.
මේ රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, නිමල් පලිහේන, තිළින සමරකෝන් සහ නිශාන්ත ජයවීර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.