Wednesday, September 03, 2025
Follow Us
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය.

පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත විය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇත.

මෙම පනත සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (44 වන අධිකාාරය වූ) තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, (46 වන අධිකාරය වූ) සූදු ආඥාපනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත ඉවත් කිරීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්තය නියාමනය කිරීම සඳහා, සූදු මෙහෙයුම් සඳහා තනි නියාමන ආයතනයක් ලෙස සූදූ ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට මෙම පනත මගින් ප්‍රතිපාදන සලසා ඇත. මෙම යෝජිත අධිකාරිය, නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ මාර්ගගත හා අක්වෙරළ සූදු ක්‍රීඩා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව බලාත්මක කළ හැකි, සමාජ වගකීම් සංග්‍රහයන් නිකුත් කිරීමේ වගකීම හා පුළුල් විෂය පථයක් සහිත ස්වාධීන නියාමකවරයෙකු ලෙස ක්‍රියා කරනු ඇත.