Sunday, August 24, 2025
Follow Us
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස  කෝප් කමිටුවෙන් උපදෙස්

 තම ප්‍රධානතම කාර්යභාරය වන “නියාමන” කාර්ය නිසියාකාරව සිදුකිරීමට නම් පවතින නීති රාමු තුළ කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්)   ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී

ඒ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනි දා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කරුණු දක්වමින්  කාරක සභා සභාපතිවරයා  2008 මැයි 22  දිනැති  අංක  1550/7 දරන  අති  විශේෂ  ගැසට්  පත්‍රයේ  07  සහ 08 වගන්ති ප්‍රකාරව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්   එකතු කරන ලද  විදේශීය විකුණුම් අධිභාරය(OSS) ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු නමුත්  ගැසට් නිවේදනය ආරම්භයේ සිටම විදේශීය විකුණුම් අධිභාරය , ඒකාබද්ධ අරමුදලට බැර  නොකර   අධිකාරියේම  ආදායම   ලෙස හඳුනා ගෙන  එය රඳවා තබා ගෙන ඇති බව  පෙන්වා දුන්නේය. එමෙන්ම , 2023  නොවැම්බර් මස ලබාදුන්  අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව, එකතු කරන ලද මෙම ආදායමෙන් අධිකාරියේ වියදම සඳහා මාසිකව රු. මිලියන 90 ක් රඳවා ගෙන ඉතිරිය භාණ්ඩාගාරයට යැවිය යුතු වුවද, 2018 සිට 2023 නොවැම්බර් දක්වා කාලය තුළ රැස් කර තිබු රු. මිලියන 20,630 ක් මහා භාණ්ඩාගාරයට යවා නොතිබූ බවත් විගණනය මගින් අනාවරණය කරගෙන  තිබෙන බවද  සභාපතිවරයා පැවසුවේය.

මෙලෙස රඳවා ගත් මුදල්වලින් ලබාගන්නා අදායම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානතම අදායම් ඉපයීමේ මාර්ගය වන බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.  කෙසේ වෙතත් මෙම රඳවාගත් මුදල් මගින්  නියාමනයට අදාළ කටයුතු  සිදුවුයේය ද යන්න කාරක සභා සභාපතිවරයා ප්‍රශ්න කර සිටි අතර මෙම මුදල් සම්බන්ධව ලබාදුන්  අමාත්‍ය මණ්ඩල තීරණයද නැවත  සලකාබැලිය යුතු බව පැවසුවේය.

තවද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය  විසින්  වීරවිල පවත්වාගෙන යනු ලබන බංගලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.  ප්‍රසම්පාදන සැලසුමේදී මිලියන 4.5 කට  අනුමත කොට  ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යන අතරමග එය මිලියන 24 දක්වා ඉහළ යාම පිළිබඳව  කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා  සිටින ලදී. කෙසේ වෙතත් මෙහිදී කරුණු දැක්වු නිලධාරීහු මෙම තොරතුරු නිවැරදි නොවන බවත් යාවත්කාලීන  කළ  තොරතුරු  විගණනයට යොමු කර ඇති බවත් පැවසුහ. ඒ අනුව  නිවැරදි  තොරතුරු  විගණනයට ලබා නොදීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා කමිටුවේ අප්‍රසාදය පළකරමින් නිවැරදි තොරතුරු අදාළ කාලසීමාව තුල  ලබාදීමට උපදෙස්  ලබාදුන්නේය.

තවද කටුනායක පිහිටි  අධිකාරියේ නිල නිවාසයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් පසුවත් එයට  පෙර තිබූ ප්‍රධාන අඩුපාඩු එලෙසම පවතින බව විගණනය විසින් සිදු කළ භෞතික පරීක්ෂණ වලින් පෙනී  ගොස් තිබෙන බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු පැවසුහ.මෙහි දොරවල් අලුත්වැඩියා කිරීම සඳහා පමණක් ලක්ෂ 15ක පමණ  මුදලක් වැයවී තිබීම පිළිබඳවද කාරක සභාව තුළ  දීර්ඝ ලෙස සාකච්ජා විය. ඒ අනුව අධිකාරිය විසින් මෙම ගොඩනැගිලිවල  සිදුකළ  මෙම අලුත්වැඩියා කටයුතු  හා  අදාළ  ක්‍රියාවලිය පිළිබඳ  නැවත  පුර්ණ විමර්ශනයක්  සිදු කරන ලෙස  සභාපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මේ අතර  සිවිල් ගුවන් සේවා අධිකාරියේ  පවතින සේවක පුරප්පාඩු පිළිබඳව කාරක සභාව තුළ දීර්ඝලෙස  සාකච්ඡා විය. ඒ අනුව දැනට ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 14 පමණ වසර ගණනක් පුරා පැවතීම  පිළිබඳව කාරක සභාව නිලධාරීන්ගෙන්  විමසන ලදී .එයට කරුණු දක්වමින් එම නිලධාරීහු සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් සිදු කරනු ලබන කාර්ය භාරය පැහැදිලි කරමින් නිපුණතාවෙන් හා අත්දැකීම්වලින්  යුතු සුදුසුකම් සහිත පිරිස්  වැටුප් ප්‍රමාණයන්ගේ  පවතින   වෙනස් කම්  හේතුවෙන්  අදාළ තනතුරු සඳහා අයදුම් නොකරන බව පැවසූහ. කෙසේ වෙතත් එම තනතුරු සඳහා අයදුම්පත් කැඳවා ඇති බවත් අග්‍රාමාත්‍ය කමිටුවෙන්  අදාළ අනුමැතීන් ලැබුණු පසු එම තනතුරු සම්පුර්ණ කරන බවත් පැවැසුහ. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා  වර්තමානය වන විට ශ්‍රී ලංකාව පිළිබඳව  යහපත් ආකල්පයක්  පුරවැසියන්  තුළ  ගොඩ නැගෙමින් පවතින බවත් ඒ  හේතුවෙන්  නිපුණතාවෙන් හා අදාළ සුදුසුකම්වලින් යුතු  පිරිස් වැටුප් මතම නොව අදාල වෘත්තියන්ට දක්වන  කැමැත්ත   හේතුවෙන්  රැකියාවල නිරතවීමට සුදානමින් පසුවන  බව පවසුවේය. කෙස් වෙතත්  සිවිල් ගුවන් සේවා අධිකාරියේ  පවතින තනතුරු සඳහා වැටුප් නැවත සමාලෝචනය කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ජා කොට අවශ්‍ය සුදුසු පියවර ගැනීමට  සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම මෙම විෂය සම්බන්ධ දැනුම සහිත  පිරිස්  රටට නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද අවශ්‍ය පියවර ගන්න ලෙස කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.

 

මෙම රැස්වීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, දිලිත් ජයවීර, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, සුනිල් රාජපක්‍ෂ, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.