Friday, August 08, 2025
Follow Us
සබරගමුව පළාත් සභාවේ වංචා රැසක් කෝපා කමිටුවේදී හෙලි වෙයි

2014 -2017 කාලය තුළ සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමති වෙත අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730, 262ක් වැඩිපුර ගෙවා ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වේ .

  • පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ එතුමාගේ ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම්වරිය ලබාගෙන ඇති බව අනාවරණය වේ.
  • පළාත් සභාව සතු ඉඩම් බදු අයකරගැනීම සම්බන්ධයෙන් මාස 2ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාවෙන් නිර්දේශ කරයි
  • සැපයුම්කරුවෙකු විසින් 2024 වර්ෂයේදී වොට් 90 වීදි ලාම්පු ලෙස දක්වමින් වොට් 30 වීදී ලාම්පු ලබාදී ඇති බව අනාවරණය වෙයි.

2014 -2017 කාලය තුළ සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමති වෙත අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730, 262ක් වැඩිපුර ගෙවා ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ  සබරගමුව පළාත් සභාවේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අන‍ාවරණය වූයේ 2010 රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය ප්‍රකාරව සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට වාහන 3ක් වෙනුවෙන් මාසිකව ඉන්ධන ලීටර 1700ක් සඳහා 2014 වර්ෂයේ සිට රු. 9,850,170 ගෙවා තිබියදී සබරගමුව පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ප්‍රධාන අමාත්‍යවරයාට සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියෙන් සහ සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් මාසිකව ඉන්ධන ලීටර් 1500 බැගින් අනුමත කර 2016 සහ 2017 යන්ත්‍රෝපකරන අධිකාරියෙන් රු. 2,695,000 ක් ලබාගෙන තිබුණි. එසේම 2014 සිට 2017 දක්වා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් රු. 5,035,262 ක්ද ගෙවා තිබුණි. මේ අනුව අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730, 262ක් වැඩිපුර ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් කෝපා කාරක සභාවට ලබාදෙන ලෙස නිර්දේශ කළේය. එසේම සීමාව ඉක්මවා ලබාගත් මුදල් නැවත අයකර ගැනීමට කටයුතු කරන ලෙසද කාරක සභාව නිර්දේශ කරන ලදි.

එසේම පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ එතුමාගේ ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම්වරිය ලබාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව 2022 වර්ෂයේදී රු. 725,000 ක මුදලක් මෙසේ ගෙවා ඇති බව හඳුනාගත් අතර, 2018 ඔක්තෝබර් 12 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛය අනුව එක් අයෙකුට අයත් ඉන්ධන දීමනාව වෙනත් අයෙකුට ලබාදීමට ප්‍රතිපාදන නොමැති බවද මෙහිදී සඳහන් විය. මේ නිසා මේ මුදල හිටපු ආණ්ඩුකාරවරයාගෙන් අය කරගත යුතු බව කමිටුව පෙන්වා දුන්නේය. එසේම හිටපු ආණ්ඩුකාරවරයා කෝපා කාරක සභාව වෙත ඉදිරියේදී කැඳවන බවද කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

තවද පළාත් සභාව සතු ඉඩම් බදු අයකරගැනීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිරීක්ෂණය වන බවද කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය. මේ නිසා මාස 2ක් ඇතුළත මේ සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් කර වාර්තාවක් ලබා දෙන ලෙස ද කාරක සභාව නිර්දේශ කරන ලදි.

 

මීට අමතරව සැපයුම්කරුවෙකු විසින් 2024 වර්ෂයේදී සපයා තිබූ වොට් 90 එල්. ඊ. ඩී. සූර්ය බල වීදි ලාම්පු 1500ක් වෙනුවෙන් මුදල් නොගෙවීම සම්බන්ධයෙන් කමිටුව නිලධාරීන්ගෙන් විමසන ලදි. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ අදාළ ආයතනය වොට් 90 වීදි ලාම්පු ලෙස දක්වමින් වොට් 30 වීදී ලාම්පු ලබාදී ඇති බවයි. මේ නිසා ඔවුන් වෙනුවෙන් මුදල් ලබා නොදුන් බවත් නියමිත පිරිවිතර අනුව වීදි ලාම්පු ලබා දෙන ලෙස දැනුවත් කළද, එසේ ලබා නොදී මානව හිමිකම් කොම්ෂන් සභාවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිලි කර ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම කටයුත්තේදී පැහැදිලි වංචාවක් සිදු වි ඇති බවයි. මේ නිසා මෙහි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස කෝපා කරක සභාව නිර්දේශ කරන ලදි.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලීන් හේවගේ සහ සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, ටී.කේ. ජයසුන්දර, නීතීඥ තුෂාරි ජයසිංහ, සුසන්ත කමාර නවරත්න, චානක මාදුගොඩ, නීතිඥ සාගරිකා අතාවුද, මංජුල සුරවීර ආරච්චි, (වෛද්‍ය) ජනක සේනාරත්න, කේ. ඉලංකුමාරන්, සුනිල් රත්නසිරි සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.