ජනතාව පැතු දේශය ගොඩනැගීමෙහි ලා රාජ්‍ය නිලධාරින් ගනුලබන ඕනෑම යහපත් නිවැරදි තීරණයක් වෙනුවෙන් ම රජය පෙනීසිටින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ඊයේ (25) පැවති අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණ සමුළුවට එක්වූ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරින් ආමන්ත්‍රණය කරමිනි.
මෙම වසරේ පළමු අන්තර් පළාත් විෂය සම්බන්ධිකරණ සමුළුව වූ මෙම සමුළුව, නව රජය පත්වීමෙන් පසු සිදුකරන පළමු පළාත් ප්‍රධාන ලේකම් සමුළුවද විය.
2025 අයවැය මඟින් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් අමාත්‍යාංශයට වෙන් වී ඇති මොහොතක එම ප්‍රතිපාදන ඵලදායි ලෙස ජනතාවගේ අවශ්‍යතා සදහා උපයෝගී කරගැනීමේ දී එය සාමූහික වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම අනිවාර්ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනතාව විසින් අපේක්ෂිත නව වෙනසට ළඟා වීමට නම්, අනිවාර්යයෙන් ම ප්‍රතිපාදන වියදම් කළ යුත්තේ කවර ව්‍යාපෘති සඳහා ද, එම යෙදවීම කොතෙක් දුරට ඵලදායිද, ඒවා අපේක්ෂිත කාර්යය සාධන මට්ටමට පැමිණිය හැකි ව්‍යාපෘති ද යන්න ආදිය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
අමාත්‍යවරයා පැවසුවේ පෙර පැවති ජනතා අරගලයේදී (ගෝල්ෆේස් අරගලයේදී) ජනතාව ප්‍රතික්ෂේප කළේ සමස්ත සමාජ තත්වය ම බවයි. එකී ප්‍රතික්ෂේපිත දේශපාලන-සමාජයීය තත්වය වෙනස් කරමින් රට නව මාවතකට යොමුකිරීම සියල්ලන්ගේ ම අපේක්ෂාව ද වේ. එම අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට රාජ්‍ය සේවකයන් සතුවද විශාල වගකීමක් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එහි ලා රාජ්‍ය නිලධාරින් විසින් ගනුලබන යහපත් නිවැරදි තීරණ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා විසින් පැහැදිලි කරන ලදී.
මේ අතර පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා ද මෙහිදී අදහස් පළකරමින් කියා සිටියේ එක් එක් පළාතට අදලාව මේ වන විට හඳුනාගෙන ඇති, රාජ්‍ය යාන්ත්‍රණය තුළ මතුව තිබෙන ගැටලු පිළිබඳ පසුගියදා (24) පැවති අමාත්‍යාංශයට අදාළ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී සාකච්ඡාවට ලක්වූ බවයි. එබැවින් ඒ පිළිබඳ ඉදිරියේ දී පුළුල් කතිකාවක් ඇතිකරගැනීමට අපේෂිතය.
මේවන විට පළාත් පාලන ආයතන බොහොමයක් ස්ථාපිත කරඇති බැවින් එම ආයතන සක්‍රීයව සංවර්ධන කටයුතු සඳහා දායක කරගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
රටක් ලෙස විවිධ අභියෝගවලට මුහුණ දෙමින් එම අභියෝග ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ මෙන්ම මේ වන විට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව පසුවිපරමක් කරගැනීමත් අරමුණු කොටගෙන මෙලෙස අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණ සමුළුවක් කැඳවීම සිදුකළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
සමුළුව සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරුන්. පළාත් පාලන කොමසාරිස්වරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා, පළාත් සභා සහ පළාත් පාලන අතිරේක ලේකම් එම්.කොඩිප්පිලිආරච්චි මෙනවිය ඇතුළු අමාත්‍යංශ නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වූහ.