නීති කඩ කරන්නෙකුට කිසිදා නීති සම්පාදකයෙකු විය නොහැකියි. එනිසා ඔබට සහ ඔබේ සියලු ආදරණීයයන්ට යම් දිනක ආඩම්බර විය හැකි ආකාරයෙන් උරුමයක් ඉතිරි කරන්න.
- කොටහේන යහපත් එඬේරා කන්යාරාමයේ ශිෂ්ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිය අමතමින් නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතා පවසයි.
කොටහේන යහපත් එඬේරා කන්යාරාමයේ ශිෂ්ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් අමතමින් ගරු නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතා ප්රකාශ කළේ නීති කඩ කරන්නෙකුට කිසිදා නීති සම්පාදකයෙකු විය නොහැකි බවයි. එම නිසා, දරුවන් වශයෙන්, ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ උපදෙස් සිතට ගෙන, යම් දිනක ආඩම්බර විය හැකි උරුමයක් ඉතිරි කරන ආකාරයෙන් ජීවිතය ගත කළ යුතු බව ඒ මහතා පැවසීය.
නීතිගරුක පුරවැසියන් වීමට උත්සාහ කරන ලෙස ඒ මහතා සිසුන් දිරිමත් කළ අතර, මැතිවරණ වාසි කෙරෙහි පමණක් අවධානය යොමු කරන සාම්ප්රදායික දේශපාලනඥයන් බවට පත්වීම වෙනුවට, අනාගත පරපුරේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන සදාචාරාත්මක නායකයින් වීමට සිසුන් ඉලක්ක කළ යුතු බවද තවදුරටත් අවධාරණය කළේය.
නියෝජ්ය කථානායකවරයා මෙම අදහස් පළ කළේ 2025.07.04 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවති කොටහේන යහපත් එඬේරා කන්යාරාමයේ ශිෂ්ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිය අමතමිනි.
පැමිණ සිටි සිසුවියන් අමතමින්, ගරු නියෝජ්ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, මෙරට තුළ කාන්තාවන් පිළිබඳ පවතින සංස්කෘතික වශයෙන් මුල් බැසගත් ප්රතිරූපය, කාන්තාවන් පිළිබඳ සමාජීය ආකල්ප, පුහුණුව හා අත්දැකීම් නොමැතිකම මෙන්ම ප්රධාන වශයෙන් කාන්තාවන් මත පැටවෙන පවුලේ වගකීම්, විශේෂයෙන් ග්රාමීය මට්ටමේ කාන්තාවන්ට ඉදිරියට යාමට අභියෝග එල්ල කර ඇති බව පෙන්වා දුන්නාය.
කෙසේ වෙතත්, ශ්රී ලංකාවේ ව්යවස්ථාදායකය තුළ කාන්තා නියෝජනය යම් ප්රමාණයකට ඉහළ ගොස් ඇති අතර, එය තවදුරටත් වර්ධනය කළ යුතු බව ඇය අවධාරණය කළාය. ගෝලීය දේශපාලනයේ ප්රතිගාමී තත්ත්වයන් මධ්යයේ වුවද, බොහෝ කාන්තාවන් එවැනි අභියෝග ජයගෙන තම ඉලක්ක සපුරා ගෙන ඇති බව ඇය උදාහරණ දක්වමින් සඳහන් කළාය.
රැස්ව සිටි පිරිස අමතමින්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, පාර්ලිමේන්තුවේ කාර්යයන් සහ ක්රියාපටිපාටි, පාර්ලිමේන්තු කාරක සභා සහ සංසද පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් සිසුවියන් වෙත ලබා දුන්නාය. වත්මන් පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ ඉහළම කාන්තා නියෝජනයක් ඇති බව තවදුරටත් පෙන්වා දුන් මහ ලේකම්වරිය අනාගත කාන්තා නායිකාවන්ට පූර්වාදර්ශ සපයන පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදය මෙරට කාන්තා නායකත්වයේ වැදගත් සන්ධිස්ථානයක් බව අවධාරණය කළාය. එමෙන්ම නායකත්ව කුසලතා වර්ධනය කිරීම සඳහා ශිෂ්ය පාර්ලිමේන්තුව වටිනා වේදිකාවක් බවද ඇය තවදුරටත් අවධාරණය කළාය.
මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තුවේ ව්යවස්ථාදායක සේවා අධ්යක්ෂ සහ සන්නිවේදන අධ්යක්ෂ (වැඩබලන) එම්. ජයලත් පෙරේරා මහතා සිසුවියන් අමතමින් ප්රකාශ කළේ ශිෂ්ය පාර්ලිමේන්තු වැනි වැඩසටහන් යහපත් පෞරුෂයක් සමඟ නායකත්ව ලක්ෂණ වර්ධනය කරන බැවින් අනාගත නායකයින් හැඩගැස්වීමේදී එය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.
අනතුරුව ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ වූ අතර එහිදී කථානායකවරිය සහ පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ දිවුරුම් සිදුවිය.ඉන්පසුව, අදාළ ශිෂ්ය අමාත්යවරියන් විසින් තම අමාත්යාංශ ඔස්සේ පාසල තුළ ක්රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් ඇතුළුව ඔවුන්ගේ යෝජනා ශිෂ්ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ශිෂ්ය පාර්ලිමේන්තුව අවසානයේ ගරු නියෝජ්ය කථානායකතුමා, නියෝජ්ය කාරක සභා සභාපතිතුමිය සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් සහභාගී වූ සිසුවියන් වෙත සහතිකපත්ර ප්රදානය කරන ලදී.
මෙම ශිෂ්ය පාර්ලිමේන්තු වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා, සහකාර අධ්යක්ෂ මේජර් නදීක දංගොල්ල මහතා, කොටහේන යහපත් එඬේරා කන්යාරාමයේ ප්රධාන මව්තුමිය වන මැඩෝනා විමලදාස සහ ගුරු මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.