Wednesday, July 09, 2025
Follow Us
අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථම වරට රැස්වෙයි
  • ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ ගුරු උපදේශක සේවය යන අංශවල ගැටලු විසදීම ‘අධ්‍යාපන සභාවේ’ අරමුණයි - නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාවේ පළමු රැස්වීම එම අනු කාරක සභාවේ සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්විය.

මෙහිදී ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව මෙම අනු කාරක සභාව විසින් ගතයුතු ක්‍රියාමාර්ග සහ අනු කාරක සභාවේ අරමුණ පිළිබඳව අනු කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් ඉදිරිපත් කළේය. ඒ අනුව, රටේ අධ්‍යාපනය ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට සහ අධ්‍යාපන වෘත්තීයමයභාවය ඉහල නැංවීම අරමුණු කරගත් අධ්‍යාපන සභාව පිහිටුවීම සම්බන්ධයෙන් මෙම අනු කාරක සභාව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය. විශේෂයෙන් ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ ගුරු උපදේශක සේවය යන අංශ පහ තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම මෙහි මූලික අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

මේ අතර ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කමිටුවක් මේ වන විට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ  නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වූහ.

ඒ අනුව, අදාළ කමිටුව සහ පාර්ලිමේන්තුවේ මෙම අනු කාරක සභාව එක්ව රැස්වී මූලික කරුණු පිළිබඳ සාකච්ඡා  කිරීමට කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා යෝජනා කළේය.

මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, (ආචාර්ය) වී. එස්. රාධක්‍රිෂ්ණන්, මංජුල සුරවීර ආරච්චි, රුවන් මාපලගම සහ ආර්. එම්. සමන්ත රණසිංහ යන මහත්වරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.