නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ විශේෂ කොටසක් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට වෙන්කිරීමට ඉදිරියේදී අවස්ථාව
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ මාදිවෙල නිල නිවාස ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව එම කාරක සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී තීරණය කෙරිණි.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි.
කෙසේ වුවද මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් අද දින කාරක සභාවේදී දීර්ඝ ලෙස සලකා බැලුණු අතර ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2000ක් වශයෙන් අය කිරීමට මෙහිදී තීරණය කෙරිණි. මෙම නව මිල ගණන් 2025.07.01 දින සිට ක්‍රියාත්මක වේ.
එසේම 2025.05.23 දින එම කාරක සභාව තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදීගනු ලබන ගරු මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී.
තවද නුවරඑළිය පිහිටි මන්ත්‍රී නිවාඩු නිකේතනයේ එක් කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. මේ වනතෙක් මෙම නිවාඩු නිකේතනය වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වූ අතර කථානායකවරයාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැගිල්ලේ ඇති එක් කෙටසක් මේ ආකාරයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කර ගැනීමට ඉදිරියේදී අවස්ථාව හිමිවනු ඇත.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු වූ අතර පාර්ලිමේන්තු රැස්වීම් දිනයන්හිදී පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම ගෘහකාරක සභාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයන්ගෙන් සංයුක්ත වන කාරක සභාවක් වේ.