හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත වතාවක් ජනාධිපති ධුරය සදහා තරග කිරීමට ඇති බාධාව වශයෙන් සැළකෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. බොහෝ දෙනා එකී ව්‍යවස්ථා සංශෝධනය ද්වේෂ සහගත එකක් වශයෙන් හැදින්වීමට පදනම් කරගන්නේද එම ප්‍රතිපාදනයයි.
මේ මොහොතේ පවත්නා සමාජ දේශපාලන හැසිරීම නිරීක්ෂණය කිරීමේදී බොහෝ දෙනා එකී තත්වය එනයින්ම පිළිගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.
නමුත් අදාල ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය ගැඹුරින් විමසා බැලීමේදී පෙනීයන සිත්ගන්නාසුළු කරුණක් වන්නේ වැඩිදෙනා එල්බගෙන සිටින පෙරකී නිගමනය සම්පූර්ණයෙන්ම නිවැරදි නොවිය හැකි බවයි.
ඒ කෙසේද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධුරය නිර්වචනය කර ඇත්තේ 30 වන ව්‍යවස්ථාව මගිනි. 19 වැනි සංශෝධනය හරහා එම ව්‍යවස්ථාවට සිදුකරන ලද වෙනස වන්නේ 'ධුර කාලය වසර 6ක සිට වසර 5ක් දක්වා අඩුකිරීම' පමණි.
එවන් සංශෝධනයක් සිදුකිරීමේදී පිළිගත් රටාව වන්නේ දැනට පවත්නා 30 වන ව්‍යවස්ථාවේ "වසර 6ක කාලයක් සදහා" යන කොටස ඉවත් කොට "වසර 5ක කාලයක් සදහා" යන වචන ඒ වෙනුවට ආදේශ කිරීමෙනි. නමුත් 19 වැනි සංශෝධනය මගින් සමස්ථ 30 වැනි ව්‍යවස්ථාව ඉවත් කොට නව 30 වැනි ව්‍යවස්ථාවක් හදුන්වා දී තිබේ. එය තාක්ෂණික අර්ථයෙන් ගත්කල පැරණි 30වැනි ව්‍යවස්ථාව යටතේ පැවැති විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව 30 වන ව්‍යවස්ථාව මගින් නව ජනාධිපති ධුරයක් ඇතිකිරීමකි.
වාර දෙකකට වඩා ජනාධිපති ධුරයට තෝරාපත් කරගනු ලැබීමෙන් වැලැක්වෙන 31(1) අනුව්‍යවස්ථාව දක්වන්නේ "ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරාපත් කරගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධුරයට තෝරාපත් කරගනු ලැබීමට සුදුස්සෙකු නොවන්නේය" යනුවෙනි. ඒ අනුව මෙහිදී මෙම 31(1) අනු ව්‍යවස්ථාව අදහස් කරනු ලබන "ජනාධිපති ධුරය" විස්තර කෙරෙන්නේ ඉහත කී 30 වන ව්‍යවස්ථාවේය.
ඒ අනුව ගත්කල 31(1) හි සදහන් පරිදි දෙවරකට වඩා ජනාධිපති ධුරයට තෝරාපත් කරගනු ලැබීමට නුසුදුස්සන් වන්නේ 30 වන ව්‍යවස්ථාවේ පරිදි වසර 05කට පමණක් ධුරය දරණ 19 වැනි සංශෝධනය හරහා හදුන්වා දුන් ජනාධිපති වරයෙකු මිස, 19 වැනි සංශෝධනයට පෙර සිටි වසර 06ක් ධුරය දැරූ ජනාධිපතිවරයෙකු නොවේ.
ඒ අනුව බැලු බැල්මටම මෙහි අතිශය වලංගු නීති තර්කයක් ඇති බව පෙනී යයි. එකී තර්කයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පමණක් නොව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට පවා නැවත ජනාධිපති ධුරයට තරග වැදීමට බාධාවක් නැත.
ඒ අනුව යම් හෙයකින් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට තරග කිරීම සදහා නාමයෝජනා භාරදෙනු ලැබුවහොත් එය ප්‍රතික්ෂේප කිරීම සදහා මැතිවරණ කොමිසමට ප්‍රතිපාදනයක් නැත. යම් හෙයකින් 31(1) අනු ව්‍යවස්ථාව දක්වා නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් එය මැතිවරණ කොමිසම වගඋත්තරකරු කරමින්, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතුරු තහනමක්ද ලබාගනිමින් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොණුකිරීමට මනා පදනමක් සපයයි.
(LNW)