Tuesday, July 08, 2025
Follow Us
පක්ෂනායක රැස්වීමේදී මත ගැටුම්

ගැටුමට හේතුවත් එළියට


කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත්කරන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් සමග පෙරේදා පැවති සාකච්ඡාවේදි ඒ බව ප්‍රකාශකර ඇති අතර මෙම ගිවිසුම අමෙරිකානු සමාගම විසින් සකස්කර ඇති බැවින් එහි අඩුපාඩු නිවැරදි කිරීමට සූදානම් බවය.

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් පෙරේදා (28) පස්වරුවේ අරලියගහ මන්දිරය වෙත පැමිණියේය.

සාකච්ඡාවේ මුලසුන ගෙන තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසිනි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද සාකච්ඡාවට එක්ව සිටි බව වාර්තා විය.

සාකච්ඡාව පෙරේදා පස්වරු 05.30ට ආරම්භ වු අතර සාකච්ඡාව පැය 04ක පමණ කාලයක් පැවැත්වුණි.

සාකච්ඡාව සඳහා කරුණු 12කින් යුත් න්‍යාය පත්‍රයක් සකස්කර තිබූ අතර එහි 12වෙනි කරුණ ලෙස සඳහන්ව තිබී ඇත්තේ කෙරවලපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සහගත තත්ත්වය බව සඳහන් වෙයි.

කෙරවලපිටිය බලාගාරය පිළිබඳ පළමු කතාව කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ කෙරවලපිටිය බලාගාරයේ කොටස් සියයට 40ක් අමෙරිකානු සමාගමකට විකිණීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බවය.

අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව කැබිනට් රැස්වීම අවසානයේදී කැබිනට් ලේකම්වරයා එය මේ මොහොතේ ලැබුණු බව සඳහන් කළද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බව ඔහු පෙන්වා දී තිබුණි.

එසේ තිබියදී කැබිනට් රැස්වීමේ ගනු ලැබූ තීරණ පිළිබඳ වාර්තාව පසුදින නිකුත් වන විට එහි සඳහන්ව තිබුණේ කෙරවලපිටිය බලාගාරයේ කොටස් විකිණීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, එදිනම එය කැබිනට් මණ්ඩලය අනුමත කළ බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දුනි.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ කෙරවලපිටිය බලාගාරයේ කොටස් විකිණීමට අදාළ ගිවිසුම අත්සන් කළද ඊට අදාළ තවත් ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් එම ගිවිසුම් මුදල් අමාත්‍යංශයේ ලේකම් සතුව ඇති බවත්ය.

මෙහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කෙරවලපිටිය බලාගාරයේ කොටස් විකිණීම හා එම අමෙරිකානු සමාගමට මෙරට විදුලිබලාගාරවලට ගෑස් සැපයීම පැවරීම ලබාදීම හරහා සිදුවිය හැකි හානිකර තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ බව වාර්තා වෙයි.

විදුලි බලාගාර සඳහා LNG සැපයීම පිළිබඳව ටෙන්ඩර් කැඳවා තිබියදී අදාළ අමෙරිකානු සමාගම එම ටෙන්ඩරයට ඉදිරිපත් නොවී සිටියදීත් ඔවුන්ට මෙම කාර්යය පැවරීම සාධාරණ නොවන බවත් එමගින් විදුලි ඒකාධිකාරයක් ගොඩනැගෙන බවත්, ගම්මන්පිල මහතා පෙන්වා දී තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ගල් අඟුරු බලාගාරවල තත්ත්වයද මීට සමාන බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිකර නොගත යුතු බවය.

මෙහිදී ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ විදුලිබල මණ්ඩලය ගෑස් ගෙන්වීම තමන් යටතේ තබා ගෙන ගෑස් ගබඩා කිරීම සහ විදුලි බලාගාර වෙත නළ මාර්ගයෙන් සැපයීම පමණක් ලබාදිමට ටෙන්ඩර් කැඳවා තිබියදී අමෙරිකානු සමාගමට ගෑස් ආනයනය ලබාදීම තුළින් යම් විදිහකින් රට අඳුරේ තැබීමට වුවද අමෙරිකානු සමාගමට අවස්ථාව හිමිවන බවය.

මන්නාරමේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා කිසිදු සමාගමක් මෙම ගිවිසුම අත්සන් කිරීම නිසා ඉදිරිපත් නොවන බව ගම්මන්පිල මහතා පෙන්වා දී තිබුණි.

මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අමෙරිකානු සමාගමක් විසින් සකස් කර ඇති ගිවිසුමේ අඩුපාඩු සහ දුර්වලතා පිළිබඳව ලිඛිතව පෙන්වා දෙන ලෙසත් ඒ මත පදනම්ව අදාළ අඩුපාඩු සකස් කරගත හැකි බවත් ය.

අනෙකුත් මාතෘකා සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතුරුව අවසානයේදී “එක් රටක් එක නීතියක්” සකස් කිරීම සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතීත්වයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමද මෙහි උණුසුම් තත්ත්වයක් ඇති කිරීමට හේතු වී තිබුණි.

ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා පෙන්වා දුන්නේ ඥානසාර හිමියන් සභාපතීත්වයට පත් කිරීම සුළු ජාතීන් නොව සිංහල බෞද්ධ සමාජයේද විවේචනයට ලක්ව ඇති බවය.

මෙහිදී නැගී සිටි යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කියා සිටියේ හැට නව ලක්ෂයක් ජනවරම නියෝජනය කරන්නේ ඥානසාර හිමියන් නම් ඊට එකඟ විය නොහැකි බවයි.

එසේම කමිටුව තුළ බෞද්ධ සමාජය සංඛේතවත් කරන්නේ ඥානසාර හිමියන් ලෙස පිළිගත නොහැකි බව පෙන්වා දුන් ගෙවිඳු කුමාරතුංග මහතා නීති නිර්මාණ කිරීමට නීති කඩ කළ පුද්ගලයින් පත් කිරීම යුක්ති සහගතද යන්න ප්‍රශ්න කළා.

එහිදී දැඩි ස්වරයෙන් කතා කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ 69 ලක්ෂයක ජනවරමක් ඇති ජනාධිපතිවරයාට ඕනෑම පුද්ගලයෙකු පත් කිරීමට කාගෙන්වත් අවසර ගත යුතු නැති බවයි.

එහිදී නැගී සිටි අතාවුල්ලා මහතා සඳහන් කළේ අදාළ පත්කිරීම පිළිබඳ ජනතාවගෙන් එල්ලවන විවේචනය රජයට ඉදිරිපත් කිරීම අපගේ වගකීම බවය.

මෙහිදී නැගී සිටි යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කියා සිටියේ හැටනව ලක්ෂයක් ජනවරම නියෝජනය කරන්නේ ඥානසාර හිමියන් නම් ඊට එකඟ විය නොහැකි බවය.

එසේම කමිටුව තුළ බෞද්ධ සමාජය සංඛේතවත් කරන්නේ ඥානසාර හිමියන් ලෙස පිළිගත නොහැකි බව පෙන්වා දුන් ගෙවිඳු කුමාරතුංග මහතා නීති නිර්මාණ කිරීමට නීති කඩ කළ පුද්ගලයින් පත් කිරීම යුක්ති සහගතද යන්න ප්‍රශ්න කළේය.

එහිදී දැඩි ස්වරයෙන් කතා කළ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ 69 ලක්ෂයක ජනවරමක් ඇති ජනාධිපතිවරයාට ඕනෑම පුද්ගලයෙකු පත් කිරීමට කාගෙන්වත් අවසර ගත යුතු නැති බවය.

එහිදී නැගී සිටි අතාවුල්ලා මහතා සඳහන් කළේ අදාළ පත්කිරීම පිළිබඳ ජනතාවගෙන් එල්ලවන විවේචනය රජයට ඉදිරිපත් කිරීම අපගේ වගකීම බවය.

(Aruna)