Tuesday, July 08, 2025
Follow Us
ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවට විසදුම්
ගොවි විශ්රාම වැටුප් ලබා ගැනීම සඳහා 75% වැඩි වාරික මුදලක් ගෙවා ඇති ගොවීන් සඳහා එසේ ගෙවන ලද වාරික මුදලට ගැලපෙන ප්රතිශතික විශ්රාම වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ලබාදුන් උපදෙස් අනුව මාසිකව ගොවි විශ්රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව 2025 ජූලි මස සිට ලබා දීමට අවශ්ය කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
මෙය ගොවි විශ්රාම වැටුප් ලාභීන් වෙත වෙනත් කිසිදු රජයක් මඟින් ලබා නොදුන් විශේෂ සහනයක් බව ද එම මණ්ඩලය පවසයි.
 
1987 වර්ෂයෙන් ආරම්භ කරන ලද ගොවි විශ්රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්රමය සඳහා ගොවීන් 871,425ක් දායකත්වය ලබා ඇති අතර, එයින් ගොවීන් 178,927ක ප්රමාණයකට තැපැල් කාර්යාල 3989 කින් විශ්රාම වැටුප් මාසිකව ලබාදෙනු ලබයි.
 
2012-2013 කාලය තුළ ගොවි විශ්රාම වැටුප් අරමුදලට ඇති වූ බලපෑම හේතුවෙන් විශ්රාම වැටුප ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත ගොවි විශ්රාම වැටුප් යෝජනා ක්රමයට දායක වී සිටින ගොවි මහතුන්ගේ පසු වාරික අයකිරීමේ ක්රියාවලියද අඩාල විය.
 
ඉහත තත්වය හේතුවෙන් මෙම යෝජනා ක්රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවි ප්රජාවට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වීම නිසා වයස අවුරුදු 60 සම්පූර්ණ වන අවස්ථාවේදී නොකඩවා කන්න දෙකක් තුළ, (යල කන්නය හා මහ කන්නය) අවුරුදු 2 ½ ක් ඇතුළත වාරික 05ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පූර්ණ වාරික මුදලින් 75% නොඅඩු වාරික ප්රමාණයක් ගෙවා ඇති නමුත් වැටුප් හිමිකම් අහිමි වී ඇත.
 
මේ සම්බන්ධයෙන් ගොවි ප්රජාව ඉදිරිපත් කරන ලද ඉල්ලීම් පිළිබදව අවධානය යොමු කරමින් 75% වැඩි වාරික මුදලක් ගොවි විශ්රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් සඳහා මෙලෙස ගොවි විශ්රාම වැටුප් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.