මඩකලපුව ශික්ෂණ රෝහලේ සහ පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා පසුගිය අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන නිසි අයුරින්, කඩිනමින් ක්‍රමවත්ව එම සංවර්ධන කටයුතුවලට යෙදවීම පිළිබඳවත්, රෝහල්වලට වර්තමානයේ පවතින මානව හා භෞතික ගැටලු විමසමින් ඒවාට විසඳුම් ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගිය දා එම රෝහල්වල විශේෂ නිරීක්ෂණයක නිරත විය.
මෙරට ජනතාවට ගුණාත්මක, විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම සදහා දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති ද්විතීයීක, තෘතීයීක රෝහල් සහ විශේෂිත රෝහල් කිහිපය යම් නිශ්චිත සැලසුමකට අනූව වඩාත් විධිමත් ලෙස සංවර්ධනය කොට මෙරට ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබා දීමේ අරමුණින් වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අදහසකට අනූව විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති අතර එම වැඩපිළිවෙළට අනූව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම නිරීක්ෂණය සිදු කරන ලදී.
ද්විතීයීක සහ තෘතීයීක සෞඛ්‍ය සත්කාර සේවාවන් සපයන රෝහල් සහ විශේෂිත රෝහල් කිහිපයෙහි පවතින භෞතික සහ මානව සම්පත්වල අඩුපාඩු, හිගතාවයන් පිළිබදවත් එමෙන් ම ඉදිරියේ දී යම් නිශ්චිත සැලසුමකට අනූව සිදුවිය යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝහල් පරිපාලකයන්ගෙන් ලබා ගත් සවිස්තරාත්මක විස්තර පාදක කරගෙන අවශ්‍යතාවය අනූව පසුගිය අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කරන ලද මුදලින් එම රෝහල්වල සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගන්නා ලදී.
ඒ අනූව මඩකලපුව ශික්ෂණ රෝහලේ සිදුකළ යුතු අලුත් වැඩියා සහ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 200 කට අධික මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෙන් කර ඇති බව එම රෝහලේ පරිපාලකයන් සමග පැවති සාකච්ඡාවේ දී අනාවරණය විය. එම ව්‍යාපෘතිවල වත්මන් කාර්යක්ෂමතාවය පිළිබඳව කරුණු විමසූ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙන්කළ මුදල් ක්‍රමවත්ව අදාළ ව්‍යාපෘති සඳහා වැයකොට ව්‍යාපෘති කඩිනමින් නිමකරන ලෙසට මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
එමෙන් ම රෝහල තුළ අති නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීම, වෛද්‍ය, හෙද ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවල හිඟතාවය, ප්‍රවාහන, නිල නිවාස ඇතුළුව වර්තමානයේ පවතින ගැටලු පිළිබඳවත් මෙහි දී සාකච්ඡාවට භාජනය වූ අතර ඊට කඩිනම් විසදුම් ලබා දීම සදහා එම කරුණු පිළිබදව දීර්ඝව සාකච්ඡා කරමින් විසදුම්වලට එළැඹෙන ලදී.
මඩලපුව ශික්ෂණ රෝහල නිරීක්ෂණයෙන් පසු පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ නිරීක්ෂණයේ නිරතවූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙම රෝහල මගින් දිවයින පුරා වෙසෙන වකුගඩු රෝගීන්ට සුවිශේෂි සත්කාර සේවාවක් සිදුකරන බව සඳහන් කර සිටියේ ය.
රෝහලෙහි පවතින වත්මන් අඩුපාඩු පිළිබඟඳව අධ්‍යක්ෂවරියගෙන් එකිනෙක විමසමින් ඊට අදාළ විසඳුම් ලබා දීමට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහි දී පියවර ගන්නා ලදී.
මෙරට බදු ගෙවන ජනතාව විසින් භාණ්ඩාගාරයට යවන සෑම බදු මුදලක් ම නැවත පෙරලා ජනතා සේවයට යොමු කිරීම රජයේ ඒකායන බලාපොරොත්තුව වන බව මෙහි දී අවධාරණය කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය වෙනුවෙන් සෞඛ්‍ය අංශයට ලැබෙන අන්තිම රුපියල දක්වා පිළිවෙළකට, සැලසුමකට, කාර්යක්ෂමව, දුෂණයෙන් තොරව ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ම වියදම් කිරීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෑම විටම උපදෙස් ලබා දෙන බව අවධාරණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම උපදෙස් අනූව ක්‍රියාකරමින් මෙම නිරීක්ෂණයන් සිදුකරන බව ද පැවසී ය.
විදේශීය සංචාරකයින් මෙන් ම දේශීය සංචාරකයින් බහුලව මෙම ප්‍රදේශවල සංචාරය කරන හෙයින් පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට අපේක්ෂා කරන බව ද එයින් අනාගතයේ මෙම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ වැඩිදියුණුවට ද එය හේතුවක් වනු ඇතැයි ද සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම අවස්ථාවන් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ගනේසලිංගම් කලාරංජනී, පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසීලී යන මහත්ම මහත්මීන් සහ විහේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළුව සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.