Saturday, July 05, 2025
Follow Us
මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළ යුතුයි! : RTI කොමිසම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළ යුතු බවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTI) විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ සිය අධ්‍යාපන සුදුසුකම් හෙළිදරව් කරන ලෙස දැනුම් දුන් කිසිදු මන්ත්‍රීවරයකු මේ වනතුරුත් එය සිදු කර නොමැති බවයි.

නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එවැනි තොරතුරු රැස්කිරීමට බල නොකරන පසුබිමක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුව වෙත ලබා දී නොමැති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ තොරුතුරු අන්තර්ගත නොවන බවටත් කොමිසම පවසයි.

මෙය අනාවරණය වූයේ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කරන ලෙස ගොනුකළ අයදුම්පතක ඇසුරින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සිදුකළ විමර්ශනයකින් අනතුරුව ය.

පාර්ලිමේන්තු නිලධාරීන් කොමිසම වෙත පවසා තිබෙන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඉකුත් මැයි 10 වන දින සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දුන් බවත්, ඔවුන් තම අධ්‍යාපනික සුදුසුකම් ප්‍රසිද්ධ කිරීමට කැමති නම් එම අදාළ ලේඛන අමුනා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබා දෙන මෙන් ඉල්ලා සිටි බවත් ය. කෙසේවෙතත්, එවන් කිසිදු ලේඛනයක් මේ වනතුරුත් භාර දී නොමැති බවයි කොමිසම පවසන්නේ.

ඒ අනුව, ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයින් සතු අධ්‍යාපනික සුදුසුකම් දැනගැනීමට ජනතාවට ඇති අයිතිය පෙන්වා දෙමින් ගොනුකරන ලද අභියාචනයකට අදාළව නියෝගයක් නිකුත් කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අවධාරණය කර සිටියේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති මුත් මේ වන තුරු ද කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එසේ තොරතුරු ලබා දී නොමැති බවයි.

පංච පුද්ගල සාමාජික මඬුල්ලකින් සමන්විත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ ලිපිය නිකුත් කර මාස දෙකකටත් වැඩි කාලයක් ගතවී ඇතත්, මහජන උනන්දුව කප්පාදු කරමින් මේ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොතිබීම අවිවාදයෙන් ම සැලකීමට බඳුන් කළ යුතු කරුණක් බවයි.

අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිචාරයන්ගේ පිටපත් මේ සම්බන්ධයෙන් අභියාචනයක් ගොනුකළ එස්. රූපතීසන් මහතාට ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට ද යොමුකළ යුතු බවට කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වා සිටී.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් ඇතුළත් කරමින් පාර්ලිමේන්තුවේ නිල වෙබ්අඩවිය යාවත්කාලීන කිරීමට ද පාර්ලිමේන්තුව තීරණය කළ බවට කොමිසම වැඩිදුරටත් දන්වා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 සහ 91 වගන්ති වලට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට අධ්‍යාපනික සුදුසුකම් අනිවාර්ය කරුණක් නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට ලබන එකම සුදුසුකම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කොට තේරීපත්වීම ය. එමෙන්ම, අධ්‍යාපනික සුදුසුකම් යනු පෞද්ගලික තොරතුරු ගනයට වැටෙන කරුණු බවත්, එය මහජන අවධානය සඳහා ප්‍රසිද්ධ කිරීම යමෙකුගේ පෞද්ගලිකත්වයට සිදුකළ හැකි තර්ජනයක් විය හැකි බවත් තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) වගන්තියට අනුව අර්තනිරූපණයක් ගොඩනැඟෙයි. කෙසේවෙතත් විශාල මහජන ඉල්ලීමක් මත අදාළ හෙළිදරව් කිරීම සාධාරිනීකරණය කළ හැකිනම් හෝ අදාළ පුද්ගලයා විසින්ම ලිඛිතව තම අධ්‍යාපනික සුදුසුකම් ප්‍රසිද්ධ කරන්නේ නම් එම තොරතුර දැනගැනීමට අයිතියක් තිබිය යුතු බවට ද එහි දැක්වෙයි.

ඒ අනුව, මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළ යුතු බවට මෑතකාලීනව ගොඩනැගී තිබූ ප්‍රභල සමාජ සංවාදයක් තුළ මෙම කරුණ සාධාරිනීකරණය වන බවත්, ඒ තුළින් මෙම අභියාචනයට අදාළ කරුණු හරහා තොරතුරු දැනගැනීමේ පනතේ 5 (1) වගන්තිය උල්ලංඝනය නොවන බවටත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

(LNW)