Friday, November 06, 2026
Follow Us
ලෝක ප්‍රසිද්ධ කාන්තා ත්‍රාසජනක ක්‍රීඩා අභියෝගතා "Le Raid Amazones" තරඟාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී
ලෝක ප්‍රසිද්ධ කාන්තා වික්‍රමාන්විත ක්‍රීඩා අභියෝගතා තරඟාවලිය වන "Le Raid Amazones" වෙනුවෙන් 08 වන වරටත් ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය "Le Raid Amazones" සඳහා නිරන්තර අනුග්‍රාහකයෙකු වන අතර, 2004, 2009, 2018, 2019, 2022 සහ 2023 වසරවලදී මෙම ලෝක ප්‍රසිද්ධ කාන්තා වික්‍රමාන්විත ක්‍රීඩා අභියෝගතා තරඟාවලිය සඳහා සත්කාරකත්වය දරා ඇත.
 
කැනෝ පැදීමේ තරඟාවලියක් ද මෙම "Le Raid Amazones" වැඩසටහනට සමගාමීව ඊයේ(05) පැවැත්විණි.
 
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය.
 
මෙම වසරේදී, ''Le Raid Amazones" කළුතර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
 
මේ සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් කැනෝ ඔරු පැදීම, බයිසිකල් පැදීම සහ දිවීම වැනි ක්‍රීඩාවල නිරත වීමට නියමිතයි.
 
මෙවර මෙම තරඟාවලියේ එක් සුවිශේෂී කටයුත්තක් ලෙස Treasure Hunt තරඟය දැකිය හැකිය. මෙම තරඟයේදී සිදු වන්නේ ලබාදෙන ඉඟි වලට අනුව සඟවා ඇති යමක් සොයා යාම වන අතර මෙවර මෙය ගාළු කොටුව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
 
මෙවර තරඟාවලිය වෙනුවෙන් ප්‍රංශ ජාතික කාන්තා තරඟකාරීන් 250 ක් සහ ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය 55 ක් සහභාගී වේ.
2026 නොවැම්බර් 10 දක්වා තරඟාවලිය පැවැත්වේ.