පසුගිය කාලය පුරා දැඩි වියළි කාලගුණයක් පැවැති මොනරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව සහ නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවලට අද (04) සහ හෙට (05) තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සැප්තැම්බර් මාසයේ අග භාගයේ සිට දිවයින පුරා සාමාන්‍ය පරිදි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම තත්ත්වය ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වන විට ඉතා ප්‍රබල මට්ටමකට ළඟා වීමට නියමිත බවත් ඒ සමගම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතන රටාවේ දැඩි වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවත් අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය තුළ එළඹෙන දෙසැම්බර් මාසයේදී දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
තවද, ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩු වී, දිවයින පුරා නැවතත් දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.