Monday, August 24, 2026
Follow Us
වසරකට තරුණ තරුණියන් 20,000කට වෘත්තීය පුහුණුව

ජාතික තරුණ සේවා සභාව මඟින් වසරකට තරුණ තරුණියන් 20,000කට වෘත්තීය පුහුණුව ලබාදීමට කටයුතු කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ පැවති ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලැබූ තරුණ තරුණියන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

තරුණ තරුණියන් රැකියා සොයන්නන් බවට පත් කිරීම වෙනුවට නව රැකියා අවස්ථා උත්පාදනය කරන්නන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පැවසීය.

ව්‍යවසායකත්වය කෙරෙහි තරුණ පරපුර යොමු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්, “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තාරුණ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවද ඔහු පැවසීය. ඉදිරියේදී තරුණ සංවර්ධන කටයුතු දත්ත හා තොරතුරු මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී මධ්‍යම පළාතේ පුහුණු මධ්‍යස්ථානවල වෘත්තීය පුහුණුව සාර්ථකව අවසන් කළ තරුණ තරුණියන් 409 දෙනෙකුට සහතිකපත්‍ර ප්‍රදානය කෙරිණි.

පොල්ගොල්ල, දොස්තරවත්ත, උලපනේ, දොළුව, රිකිල්ලගස්කඩ, දඹුල්ල ස්ව්ස් සහ අරංගල නාඋල යන පුහුණු මධ්‍යස්ථානවලදී මානව සම්පත් කළමනාකරණය, පෙරපාසල් අධ්‍යාපනය, මෝටර් කාර්මික ශිල්පය, වෘත්තීය සූපවේදය, පරිගණක චිත්‍ර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, මැහුම්, විදුලි කාර්මික, රූපලාවන්‍ය හා කේශලාවන්‍ය, කෘෂිකර්මය ඇතුළු පාඨමාලා රැසක් ඔවුන් හදාරා තිබේ.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ අනුෂ්ක බණ්ඩාර මහතා මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර හර්ෂ සුරංග ප්‍රනාන්දු, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ චන්දන උයන්ගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.