ශ්‍රී ලංකාව සහ ASEAN සංවිධානයේ සාමාජික රටවල් අතර වෙළෙඳ හා ආයෝජන, සංචාරක, අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට රජය අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
“ASEAN Cuisines Week 2026” ආහාර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ASEAN දූත මණ්ඩලවල සභාපතිනිය මෙන්ම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වියට්නාම තානාපතිනිය වන ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මහත්මිය ඇතුළු ASEAN තානාපතිවරුන් වෙත අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.
මෙම අවස්ථාව හුදෙක් ආහාර හා සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් සැමරීමක් පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ASEAN රටවල් අතර මිත්‍රත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් බවද අමාත්‍යවරයා පැවසීය.
විවිධ සංස්කෘතීන් හා ප්‍රජාවන් සමීප කරමින් ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ආහාර ප්‍රබල මාධ්‍යයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
කොළඹ Cinnamon Lakeside හිදී පැවති මෙම අවස්ථාවට කොළඹ සිටින ASEAN රටවල තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.