ගෙවී ගිය වසරකට ආසන්න කාලය තුළ රජය සිදු කළ අසීමිත කැප වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය ස්ථාවර සහ ශක්තිමත් මාවතකට පැමිණ ඇති බවත්, ජනතාවට ආර්ථික ප්රතිලාභ ගලා යාම තවදුරටත් සහතික කිරීමට ඉදිරි අයවැය මගින් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රටේ ආර්ථික ව්‍යසනයක් ඇති වනු ඇතැ’යි, ඇතැමුන් සෑම විටම විනාශකාරී සිහිනයක් දකිමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා එය කිසිසේත් සිදු නොවන බවත්, එබැවින් ඔවුන් වෙනත් දේශපාලන මාවතක් තෝරා ගත යුතු බවත් අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයට අද (07) පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි.
බලය ලබා ගැනීමේ අරමුණින් කුමන ආකාරයෙන් දේශපාලනයේ නිරත වුවද, රට තුළ අස්ථාවරත්වයක් හෝ ආර්ථික අවිනිශ්චිතතාවක් නිර්මාණය කිරීමට කටයුතු නොකරන ලෙස මෙහිදී විපක්ෂයෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා රටත් ජනතාවත් පත්ව තිබෙන අසීරුතාවෙන් මුදා ගෙන, ජනතාවට වඩා ඉහළ ජීවන තත්ත්වයක් උදා කර දීම වෙනුවෙන් සද්-භාවයෙන් එක්ව වැඩ කරමු’යි සියලුදෙනාට ආරාධනා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සම්පූර්ණ කතාව
විශේෂයෙන් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විවාදය පැවැත්වෙන අවස්ථාවේදී ආර්ථිකය පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
පහුගිය කාලයේ ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් ඇති වූ විවිධ තත්ත්වයන් අනුව බොහෝ අයගේ ප්‍රාර්ථනාවක් තිබුණා ආණ්ඩුව බිඳ වැටෙයි කියා. ඉන්දියාව සහ පාකිස්ථානය අතර යම් යම් ගැටුම් ඇති වීමෙන් පසු විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වන අය කොළඹට බෝම්බ ගහයි කියා අපේක්ෂා කළා. එම යුද ගැටුම් පැවැත්වෙන අවස්ථාවේදීත් අපේ ආරක්ෂක ලේකම්තුමා සහ හමුදාපතිවරු සිටියේ පාකිස්ථානයේ ලාහෝර්වල. විපක්ෂය අපේක්ෂා කළා කොළඹට පැමිණ බෝම්බ දායි කියලා.
ඉන්පසුව ඊශ්‍රායලය සහ ඉරානය අතර ජාත්‍යන්තර මට්ටමේ යුද්දයක් ඇති වූවාට පසු දැන් ඔවුන්ට අවස්ථාවක් ලැබේවි කියා අපේක්ෂා කළා. එහෙත් එයත් සිදු වුණේ නැහැ. ඉන් පසුව ලොකුම ප්‍රාර්ථනාව තිබුණේ එක්සත් ජනපදය විසින් පනවන ලද බදු ප්‍රතිපත්තිය හමුවේ රටේ ආර්ථිකය බිඳ වැටෙයි කියා. මම දැක්කා දින දෙකකට පෙරත් එක් අයෙක් කියනවා මේ යන විදියට එක්සත් ජනපද බදු 30%ක්, නොවේ, 44%ට නගී කියලා. එය ප්‍රාර්ථනාවක්. ඉන්දියාවේ 15%-20% අඩු වෙයි කිව්වා. ඒ නිසා විපක්ෂය සෑමවිටම රටේ ආර්ථිකයේ ව්‍යසනයක් ඇති වෙයි කියා කුරිරු, විනාශකාරී සිහිනයක් දකිනවා. එහෙත් එය කිසිවිටෙක සිදු වන්නේ නැහැ.
ඇමරිකා එක්සත් ජනපදය විසින් අපිට ඉදිරිපත් කරන ලද තීරු බදු පිළිබඳ ප්රශ්නය ගැන මම පැහැදිලි කිරීමට කැමතියි. පසුගිය අප්‍රේල් 02 වන දා ප්‍රකාශයට පත් කළා අප්‍රේල් 09 වන දා සිට මෙය බලපැවැත්වෙනවා කියලා. එක්සත් ජනපදය එවන් බදු ප්‍රමාණයක් අපේ රටට පනවන විට ඔවුන් තීරණය කළ මූලධර්මයක් තිබුණා. රටවල් දෙක අතර පවතින වෙළෙඳ පරතරයේ ප්‍රතිශතයෙන් හරි අඩක් තමයි අපේ බදු ප්‍රතිපත්තියට නම් කළේ. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරය 88%ක් තිබෙනවා. එයින් අඩක් තමයි 44%ක් කියන්නේ. එහෙම තමයි අපිට 44%ක බද්දක් ලැබුණේ. මම දැක්කා ඒ අවස්ථාවේත් විපක්ෂය ප්‍රකාශ කළා ලංකාවට 44%ක් පැනවීම ආණ්ඩුවේ අසාර්ථකභාවය කියලා. එය ආණ්ඩුවේ අසාර්ථකභාවය නොවෙයි. මෙම බදු පැනවීම සඳහා ඔවුන් සකස් කළ මූලධර්මයයි.
විශේෂයෙන් අපි එක්සත් ජනපදය සමඟ මේ සාකච්ඡාවලට අවතීර්ණ වූයේ යම් අසීරු තත්ත්වයක සිටින විට බව විවෘතව පිළිගත යුතුයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණ තිබෙනවා. අනෙක් පසින් ගත් විට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ජනගහණයේ සහ ආර්ථිකයේ තිබෙන විශාලත්වයේ වෙනස්කම් අනුව සැසඳීමේදී එක්තැනකට ගෙන ඒමේ දුෂ්කරතාවක් තිබෙනවා. ඒ වගේම අපේ අපනයන 25%කට වැඩි ප්‍රමාණයක් යන්නේ එක්සත් ජනපදයට, ඒ නිසා එය අපේ අපනයන ආර්ථිකයට විශාල බලපැමක් ඇති කිරීමේ අනතුරක් වෙනවා. ඒ වගේම අපේ ඇඟලුම්වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් යන්නේ එක්සත් ජනපදයට. ඒ නිසා කම්කරුවන් ලක්ෂ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක සෘජු රැකියාවලට බලපෑමක් ඇති වීමේ අනතුරක් තිබෙනවා.
ඒ නිසා අපි මේ සාකච්ඡාවලට ප්රවිශ්ට වන්නේ යම් අසීරු අඩියක සිට. ඒ අනුව අපි ඉතා ප්‍රබල කණ්ඩායමක් නම් කළා. මෙහි පියවරෙන්, පියවර ගානේ රතිඤ්ඤා දාන්න හෝ අත්පොළසන් දෙන්න, මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රඟ දැක්වීමට අපිට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. හැබැයි, අපි මේ ගැඹුරු අර්බුදයේ ස්වභාවය හඳුනාගෙන සිටියා. ඒ නිසා අපි නිරන්තරයෙන් සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු ඉදිරියට ගෙන ගියා. අපිට අවශ්‍ය වුණා මෙම සාකච්ඡා ඉතා හොඳින් අවසන් කර රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන අන්දමට මෙම ගැටලුව විසඳා ගන්න.
එම අභියෝගය අපි ඉතා සාර්ථකව නිමා කළා. එහිදී එක්සත් ජනපදය විසින් අපිට ඉදිරිපත් කළ යෝජනා තිබුණා. එම යෝජනා පිළිබඳ අපි සාකච්ඡා මට්ටමේ සිටිනවා. මේ වන තෙක් කිසිදු අවසන් එකඟතාවකට පැමිණ ගිවිසුමක් අත්සන් කර නැහැ. එහෙත් සාකච්ඡාවල යම් එකඟතාවලට අපි පැමිණ තිබෙනවා. පැවති සාකච්ඡා ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු ප්‍රමාණයකින් අපිට බදු ප්‍රතිශතය 20% දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබුණා. එය ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවේ වැදගත් පියවරක් ලෙස අපි සලකනවා. රටේ ව්‍යාපාරවලට, රටේ කර්මාන්තවලට කවර ආකාරයේ බලපෑමක් සිදු වෙනවාද කියන කරුණු පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කරමින් තමයි අපේ සාකච්ඡා කණ්ඩායම මේ සාර්ථකත්වයට ගමන් කළේ. එසේ නොමැතිව කාමරයක් ඇතුළේ හතර, පස් දෙනෙක් කරන කුමන්ත්‍රණයක් ලෙස නොවෙයි, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු කළා.
එම නිසා ඇමරිකා එක්සත් ජනපද බදු පිළිබඳව විපක්ෂයේ චෝදනා මෙතැනින් අවසන් වෙනවා. අපිට බාහිරව තිබුණු අභියෝග 03ක් තිබුණා. ඒ එක්සත් ජනපද බදු , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා ජී.එස්.පී බදු සහන වැඩසටහනයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ විවිධ කණ්ඩායම් අසත්‍ය කරුණු සමාජ ගත කළා.
නොවැම්බර් මස 16 වෙනි දා සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි සාකච්ඡා කළා. අපි තුන්වෙනි සමාලෝචනය ඉතා සාර්ථකව අවසන් කළා. සේවා බද්ද කල් දමා ගැනීමට අපි කටයුතු කළා. සිව් වන සමාලෝචනයත් නිසි පරිදි අපි අවසන් කර තිබෙනවා.
විදුලි බිල පිළිබඳව සමාජයේ විශාල ආන්දෝලනයක් ඇති කළා . විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවත්, රාජ්‍ය බැංකු දෙකත් අර්බුදයකට ලක් කර තිබුණා. එම ආයතනවලට ලබා දීමට තිබූ ණය මුදල් භාණ්ඩාගාරයට පවරා ගත්තා. බැංකු ආරක්ෂා කරගෙන තෙල් සංස්ථාව ආරක්ෂා කරගෙන නිශ්චිත වැඩපිළිවෙළකට රජය සූදානම් වී තිබෙනවා. මූල්‍ය වෙළෙඳපළෙහි, බලශක්ති වෙළඳපළෙහි උපාය මාර්ගය වෙළෙඳාම පිළිබඳ වෙළෙඳපළෙහි රජය ඉන්න ඕන කියන මතයේ අපි සිටිනවා. මූල්‍ය වෙළඳපළේ රාජ්‍යයේ පංගුවක් නියෝජනය විය යුතුයි. නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගැළපීම අප කළ යුතුයි. එම ගැළපීමේ සූත්‍රයට අප එකඟයි. එහිදී පාරිභෝගික ජනතාවට පීඩනයක් ඇතිවනවා නම් ඊට සහන ලබා දීමටත් රජය කටයුතු කරනවා.
සමහර රාජ්‍ය ආයතන බංකොලොත්භාවයට පත්වෙලා, සමහර රාජ්‍ය ආයතනවල ගිනුම් බින්දුව වෙලා තිබුණේ. මේ සියල්ල සලකා බලා තමයි විදුලි බිල තීරණය කරන්න සිදු වුණේ. එහෙත් විපක්ෂ නායකතුමා රජයට කලින් විදුලි බිල ප්‍රකාශයට පත් කළා. 2024 වසරෙදි විදුලි බිල අඩු කිරීමට හිටපු ආණ්ඩුවට හැකියාව තිබුණා. එහෙත් ඔවුන් එය සිදු කර නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට වැඩසටහන් කරමින් තිබෙනවා. ජී.එස්.පී බදු සහන මගින් යුරෝපා වෙළඳපොළේ යම්කිසි සහනයක් තිබෙනවා. ආර්ථිකය ස්ථාවර වුණොත් අපිට මේ සහනය නොලැබීම දරාගන්න පුළුවන්. එහෙත් දැනට අපට ජී.එස්.පී බදු සහන අවශ්‍යයි. අපේ රටේ මානව හිමිකම් ප්රජාතන්ත්රවාදය රැක ගැනීම රජයේ වගකීමයි. මෑත කාලයේ රජයක් ලෙස ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සුරක්ෂිත කළ එකම රජය වත්මන් රජයයි.
බාහිර පාර්ශ්වයන් තුළින් ලංකාවට ලැබෙන කම්පනයන් නිසියාකාරයෙන් කළමනාකරණය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා.ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අවංක වුවමනාවක් තිබෙන ආණ්ඩුවක් තමයි අද තිබෙන්නේ. ආර්ථිකයේ ශක්තිමත්භාවයක් නිර්මාණය කර ගන්නේ නැතුව ජනතාවට සහන ලබා දෙන්න බැහැ. මේ රජයට තිබු එකම අභියෝගය බිද වැටී තිබූ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමයි. වසරක කාලයක් තිස්සේ ඩොලර්ය රුපියල් 300ක සීමාවේ පවත්වාගෙන යාමට ආණ්ඩුව සමත් වී තිබෙනවා. විපක්ෂය හිතාගෙන හිටියේ රුපියල් හාරසියය දක්වා ඩොලරය වැඩි වෙයි කියලයි. කළු ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා. විනිමය ආර්ථිකය පිළිබඳ තිබෙන අවස්ථාවර භාවය කෙමෙන් අඩු වෙමින් තිබෙනවා. අද කිසිදු කර්මාන්තකරුවෙක් ඩොලරය පිළිබඳ අවිනිශ්චිතතාවක් නැහැ. ලංකාවේ පළමු වතාවට ඩොලරය වසරක කාලයක් ස්ථාවරව පවත්වාගෙන තිබෙනවා.
2015 සිට 2025 දක්වා ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ දත්ත පිළිබඳ විමසා බැලූ විට මේ වසරේ මුල් මාස හය තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා ගෙන තිබෙනවා. අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කර තිබෙනවා. අපගේ අපනයනවලින් 25% ක් තිබෙන්නේ එක්සත් ජනපදයටයි. 23%ක් තිබෙන්නේ යුරෝපා සංගමයේ රටවල්වලටයි. එම නිසා එම රටවලින් ලැබෙන බදු ශ්‍රී ලංකාවට විශාල ලෙස කම්පනයක් ගෙන දෙනවා. එම නිසාම අපනයන විවිධාංගීකරණය කිරීමට රජය සැලසුම් කළා.
බලවත් රටවල් දෙක තුනක් මත, අපනයන වෙළඳපොළ දෙක තුනක් මත යැපීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වන්නේ නැහැ. පසුගිය වසරේ ජූනි මාසයේ හා මේ වසරේ ජූනි මාසය දෙස බැලූ විට අප්‍රිකානු වෙළඳපොළෙන් 57%ක් අපනයන වෙළඳපොළේ වර්ධනයක් ළඟා කරගෙන තිබෙනවා. ආසියානු වෙළඳපොළ දෙස බැලූ විට පසුගිය වසරට වඩා 26%කින් අපනයන වෙළඳපොළ පුළුල් කරගෙන තිබෙනවා.
කර්මාන්තකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් අපි ලබා දෙනවා. ඔවුන් නිසි අයුරින් රජයට බදු ගෙවිය යුතුයි. අපේ රටේ සංචාරක කර්මාන්තය දෙස බැලූ විට පසුගිය වසරේ ලැබූ ආදායමට වඩා මේ වසරේ ලැබූ ආදායම 10%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලැබූ වසරක්, සංචාරක ක්ෂේත්රයෙන් වැඩිම ආදායම් ලැබූ වසර බවට 2025 වසර පත් වෙවි. විදෙස් සෘජු ආයෝජන සඳහා යම් සහනයක් ලබා දිය යුතුය යන මතයේ අපි සිටිනවා.
විදෙස් ආයෝජන වැඩිම වසර බවට මේ වසර පත් වෙනවා. සෘජු විදෙස් ආයෝජන අවශ්‍යයි. එහෙත් අපිට විශාල අමුද්‍රව්‍ය, විශාල වෙළෙඳපොළක් තිබෙන රාජ්‍යයක් නෙමෙයි. සෘජු විදෙස් ආයෝජන කැඳවා ගත හැකි වන්නේ දැඩි අසීරුතා මතයි. එනිසා සෘජු විදෙස් ආයෝජන වෙනුවෙන් යම් සහනයක් ලබා දිය යුතුයි. පසුගිය වසරේ මුල් මාස හය තුළ සෘජු විදෙස් ආයෝජන ඩොලර් මිලියන 252යි. මේ වසරේ මුල් මාස හය තුළ සෘජු විදෙස් ආයෝජන ඩොලර් මිලියන 507යි. ගිය වසර හා සංසදනය කර බැලීමේදී 101%ක වර්ධනයක් තිබෙනවා. ඩොලර් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මේ වසර තුළ සෘජු විදෙස් ආයෝජන තුළින් උපයා ගත හැකිවේ යැ’යි අපි අපේක්ෂා කරනවා. කොළඹ නගර ව්‍යාපෘතිය හදන්න අවශ්‍යයි. ඩොලර් මිලියන 1313ක සෘජු විදෙස් ආයෝජන වෙනුවෙන් අවසර ලබා දුන්නා. අප සැලසුම් සකස් කළ යුතුයි. සංවර්ධනය වෙනුවෙන් මේවා යොදා ගත යුතුයි. විනාශයේ බර දරාගෙන මේ රට සමෘද්ධිය කරා ගෙන යෑමට අපට තිබෙනවා.
ඩොලර් බිලියන 7ක විදෙස් සංචිතයක් මේ දෙසැම්බර් වන විට අපි ආරම්භ කරනවා. වසර පහකට පසුව වාහන වෙළෙදපොළ විවෘත කළා. අද වන විට ඩොලර් මිලියන 1268ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා. අප රටේ වසර 15-20 පැරණි වාහන තිබෙනවා. ඒවා පාරේ දුවන්න බැහැ. වාහන කියන්නෙත් කර්මාන්තයක්. රටේ ආර්ථිකයට වාහන සම්බන්ධ කර ගත යුතුයි. ඩොලර් මිලියන 1500 – 1800ක් වගේ ප්‍රමාණයක් මේ දෙසැම්බර් වන විට ණයවර ලිපි විවෘත කරයි කියා අපි අපේක්ෂා කරනවා. එහෙත් ඩොලර්වලට බලපෑම් ඇති කිරීමට කුමන්ත්‍රණ කරනවා. වාහන ආනයනය නතර කරන බවට ප්රවෘත්ති හදනවා. අපි රටේ පුරවැසියාට කියනවා වාහන ආනයන සීමා කරන්නේ නැහැ. විවෘත කර තිබෙන වෙළෙඳපොළ මේ විදිහටම පවත්වාගෙන යනවා.
ඔබට මේ වසරේ වාහනයක් ගන්න බැරි නම් ලබන වසරේ ගන්න පුළුවන්. රටේ ආර්ථිකයට හානි කරන කැත වැඩ කරන්න එපා. බදු වැඩි කරන බවට කියනවා. අපි කියනවා කිසිදු වාහනයකට බදු වැඩි කරන්නේ නැහැ. කර්මාන්ත අවස්ථා වසා දමා රටකට ඉදිරියට යන්න බැහැ. ආර්ථිකයට අවශ්‍ය නිදහස් චලනය ලබා දීමයි අපේ අපේක්ෂාව.ඩොලර් සංචිත පිළිබද හදන සැකය සිදුවන දෙයක් නෙමෙයි.
මේ හා සමානව ආයෝජන මණ්ඩලය හරහා දේශීය ආයෝජන වැඩි කර තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ 18%ක දේශීය ආයෝජන වැඩි වෙලා තිබෙනවා. ඒ තුළින් රැකියා නිර්මාණය වෙනවා, ආර්ථික වර්ධනය වැඩි වෙනවා.
ඩොලර් විනිමය, සෘජු විදෙස් ආයෝජන, සංචාරක කර්මාන්තය, අපනයන ආදායම ආදී මේ සියල්ලකගේම හොදම වසර බවට මේ වසර සංඥා ලබා දී තිබෙනවා. අපි අයවැය ලේඛනය ඉදිරිපත් කරන විට ආසන්න වශයෙන් ට්‍රිලියන 4.5ක ආදායමක් අපේක්ෂා කළා. මේ ආදායම සපුරා ගන්න බැහැ කියලා බොහෝ අය කිව්වා. මේ ආණ්ඩුව දත්ත ඇතුළේ කරන විජ්ජාවක් කිව්වා.
දේශීය ආදාම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හොදින් ප්‍රතිව්‍යුහගතකරණයට භාජනය කරලා, කාර්යක්ෂම කරලා, බදු ගෙවීම මඟහැර සිටින අය බදු ගෙවීමට පොළඹවමින් බදු අය කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ප්‍රධාන පෙළේ බදු නොගෙවා සිටින 200කගේ නාමලේඛනයක් තිබෙනවා. ඒ සමස්ත වටිනාකම බිලියන 100-150කට ආසන්නයි. මේවා අය කරගත යුතුයි. මේවා වැරදිද? රාජ්‍ය බැංකු දෙකකට පොලු තැබූ කණ්ඩායම් සිටිනවා. දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සිටිනවා. විනිවිදභාවයක්, ස්වාධීනත්වයක් බැංකුවලට අප ලබා දී තිබෙනවා.
ආදායම් පැත්තෙන් ගත්තොත් හොඳ ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙනවා. සියලු කේෂ්ත්‍රවල ආදායම් ඉක්මවා යෑමට සමත්ව තිබෙනවා. ට්‍රිලියන 4.5 ක ආදායමක් අපට ලබා ගත හැකියි. ජූලි මාසය වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දී තිබූ ඉලක්කය 101%කින් අභිබවා ගොස් තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුවට දුන් ඉලක්කය අභිබවා 115%ක් උපයාගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ රුපියල් බිලියන 136ක ඉලක්කය රුපියල් බිලියන143ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා. මුල් මාස හත තුළ රටේ ප්‍රධාන බදු ආදායම් ප්‍රභව තුනම අප ලබා දුන් ඉලක්කයට වඩා වැඩි ඉලක්කයක් අත්පත් කරගෙන තිබෙනවා. ඒ නිසා රජයට අවශ්‍ය වන ආදායම ගැටලුවක් නැහැ.
සීනි කර්මාන්තයේ අර්බුදයක් තිබෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩියි. සේවකයන් පිරිස වැඩියි. කර්මාන්ත නවීකරණය වී නැහැ. විවිධ හේතූන් මත අවස්ථා තුනකදී උක්වල මිල වැඩි කළා. එනිසා සීනි කිලෝවක් නිෂ්පාදනය කරන පිරිවැය වැඩියි. දැන් මොකක්ද කරන්න අවශ්‍ය? නිෂ්පාදන පිරිවැයට අඩුවෙන් විකුණලා භාණ්ඩාගාරය පාඩුව දරා ගන්න වෙනවා. නැතිනම් පිටරටින් ගෙනෙන සීනිවලට බදු ගහලා සීනි මිල ස්ථාවර කරන්න වෙනවා. දැන් බදු ගහන්න එකඟද? අඩුම තරමින් රුපියල් 50කවත් බදු ගහන්න වෙනවා. කවුරුවත් එක එක කේෂ්ත්‍රවල බදු අයින් කරන්න ඉලන්න එපා. සෑම කේෂ්ත්රයකින්ම බදු එකතු කරනවා, සහනාධාර ලබා දිය තැන්වලට සහනාධාර ලබා දෙනවා. ආණ්ඩුව සීනි සමාගම්වලට රුපියල් කෝටි 100ක් ලබා දෙනවා. බදු අඩු කළත් වැඩක් නැහැ බදු ගෙවලත් නැහැ, පඩි ගෙවලත් නැහැ. මේ සතියේ සිට මේ ප්රශ්නය විසඳනවා. ගොඩනැඟීමේ සැලැස්ම යටතේ අප කටයුතු කරනවා. අද අපේ ආණ්ඩුව සතුව රුපියල් බිලියන 1000ක් තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළොත් ප්‍රධානම ගැනුම්කරු අප තමයි. ඉස්සර කෘත්‍රීම තත්ත්ව ඇති කළා. අද තවදුරටත් කෘත්‍රීම තත්ත්වයක් නිර්මාණය කරන්න බැහැ. අපි වෙළෙදපොළ පාලනය කරනවා. විකෘතීන් නතර කරනවා. රටක් පාලනය කළ යුත්තේ එහෙම නේද?
ආර්ථිකය හොඳද, නරකද මනින නිර්ණායකයන් ගැන කල්පනා කර බැලුවොත් අප ස්ථාවර ස්ථානයකට ගෙන ඒමට සමත්ව තිබෙනවා. විපක්ෂය ආර්ථිකයේ බිඳ වැටීමක් හරහා මේ රට වැටේවි කියලා කල්පනා කරනවා නම් ඒක සිදු වන්නේ නැහැ. මෑත කාලයේ ආර්ථිකයේ ඇති වන පීඩනය විසින් ආර්ථිකය කඩා වැටුණා. ඊළඟට දේශපාලන අර්බුද නිසා ආණ්ඩු කඩා වැටුණා. මහජනතාව පාරට ඇවිත් ආණ්ඩු කඩා වැටිලා තිබෙනවා. මැතිවරණවලින් ආණ්ඩු කඩා වැටී තිබෙනවා. ඔය ආකාර තුනෙන්ම මේ ආණ්ඩුව කඩා වැටෙන්නේ නැති බව හොඳින් මතක තියා ගන්න.
තමන් හදාගන්නා රැස් වළල්ලේ බලය නිසා තමන් අසලට නීතියට ළඟා වෙන්න බැහැ කියලා හිතන්න එපා කවුරුත්. හැබැයි එහෙම මතයක් මේ රටේ තිබෙනවා. නීතියට ළඟා වෙන්න බැරි පුරවැසියන් සිටින රටක, නීතියට ළඟා විය හැකි පුරවැසියන් පවා නීතියට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා රට ගොඩනඟන්න නම් යළි නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි.
නීතියේ ආධිපත්‍යය තහවුරු කරන විට කවදාවත් තම රශ්මීය කදම්භය හමුවේ නීතිය තමා වෙත ළඟා වෙන්නේ නැහැ කියා සිතපු අයට නීතිය ළඟා වෙනවා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය ලබා දී තිබෙනවා, අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට අවශ්‍ය පහසුකම් සකස් කර දී තිබෙනවා. බලය ලබා දී තිබෙනවා. වැඩ කරන්න දී තිබෙනවා. නීතිය අපරාධකරුවන් පිටුපස එනවා.
හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. එහෙත් මාධ්‍ය සාකච්ඡා කැඳවලා කියනවා කොටි ඩයස්පෝරාව සනසන්න ආණ්ඩුව මේවා කරනවලු. අපිට කවුරුත් සනසන්න වුවමනාවක් නැහැ. අපි සනසන්නේ මේ රටේ ජනතාව පමණයි. අද අපරාධකරුවා දන්නවා නීතිය තමන්ට සමීප වෙමින් තිබෙන බව. පුද්ගලික ලේකම් සාක්ෂියට කැඳ වන විට කොතැනටද එන්නේ කියලා දන්නවා. තමන් අසලට නීතිය ළඟා වීමට කළින් රට තුළ අවිනිශ්චිතතාවක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. එවිට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් යම් ප්‍රමාණයකින් තිගැස්සෙනවා. එවන් ඉතිහාසයක් තිබෙනවා. සාධාරණ පරික්ෂණ කිරීමේ වරදට නිලධාරින් සිරගත කළා. මේ භය නිලධාරින් තුළ ඇති කරන්න උත්සාහ කරනවා. හැබැයි අපි අපේ නිලධාරින්ට එම නායකත්වයත්, පෞරුෂයත්, බලයත් ලබා දී තිබෙනවා. ඒ වගේම ඕනෑම වෙලාවක ඔවුන් ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. අපි ආණ්ඩුවේ සිටියත්, එළියේ සිටියත් අද මේ රටේ නීතිය ස්ථාපිත කිරීමට කැප වූ සෑම නිලධාරියෙකුම අපි ආරක්ෂා කරනවා, ආණ්ඩුවෙන් එළියේ සිටියත් පුරවැසියන් ලෙසත් අපි එම නිලධාරින් ආරක්ෂා කරන බවට සහතික කරනවා.
මේ ආණ්ඩුව අනවශ්‍ය නම් ඔබ අවශ්‍ය බව දැනෙන වැඩසටහනකට යා යුතුයි කියා මම විපක්ෂයට කියනවා. එවිට ඔබට මාවතක් තිබෙනවා. එවන් සංවාදයකට අපි කැමතියි. රටේ සංවර්ධනයට අපි ප්‍රමාණවත් නැත්නම් ඊට කරුණු කියන්න. මේ අවස්ථාවේ කළ යුතු දේ අපි කරනවා. මීට වඩා කරන්න තිබෙන්නේ මොකක්ද කියලා මම ඔබෙන් අහනවා. අපිට ලැබුණේ නතර වූ රටක්. විදෙස් ආධාර මත ලැබුණු සංවර්ධන ව්‍යාපෘති නතර වී තිබුණා. එහෙත් අද රටේ ආර්ථිකයට අපි නැවත පණ දී තිබෙනවා. මීරිගම - කඩවත අධිවේගි මාර්ගය ඉදිකිරීමට ණය ලබා දුන්නේ චීනයේ එක්සිම් බැංකුව. එදා ලබා දුන් එම ණය දැන් ප්‍රමාණවත් නැහැ. ඊට වඩා වැඩි ණයක් අවශ්‍යයි. ඒ නිසා නැවත ණය පිළිබඳ සාකච්ඡා කළ යුතුයි.මම ඉතාම සතුටින් කියන්න කැමතියි චීනයේ එක්සිම් බැංකුව යුවාන්වලින් ඉතාමත් සහනදායී පොළියකට අපිට ණයක් ලබා දීමට එකඟතාව පළ කළා. ලබන සඳුදා අපි එය කැබිනට් මණ්ඩලයේ අනුමත කරනවා. එවිට එහි වැඩ ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ, කඩවත - මීරිගම අධිවේගි මාර්ගය, මේ සියලු ව්‍යාපෘතිවල වැඩ අපි මේ වසරේ ආරම්භ කරනවා. ඒ වගේම ගලගෙදර - මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා විදේශ මුදල් සොයා ගැනීමට අපි උපරිම උත්සාහ කරනවා. එය අසාර්ථක වුවහොත් දේශීය මුදල්වලින් හෝ එම මාර්ගයේ ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කරනවා.
ඒ වගේම, අපි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි කඩිනමින් යොමු විය යුතුයි. අපි එම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරනවා. ඒ වගේම තෙල් සංස්ථාවේ ධාරිතාව වර්ධනය කළ යුතුයි. ඒ සඳහා අලුතින් තෙල් ටැංකි 06ක් කොළොන්නාවේ හදනවා. ඒ වගේම දශක ගණනාවක් ප්‍රමාද වූ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙනවා.
බලශක්ති ක්ෂේත්රය ස්ථාවර කර ගැනීම ඉතා වැදගත්. හිටපු නායකයන්ගේ ගනුදෙනු බේරා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලය නිසා අද පුරවැසියන් බලශක්තියට ඉතා ඉහළ මිලක් ගෙවනවා. අද අපි මෙම ටෙන්ඩර් කැඳවා තිබෙනවා.
මේ අයුරින් වසරකට ආසන්න කාලයක් අපි පොරබැදුවේ මේ රටේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය සාධක සම්පූර්ණ කර ගැනීමටයි. අපේ මූල්‍ය වෙළෙඳපොළේ යළි කිසිදු අවස්ථාවක අනිවිශ්චිතතාවක් ඇති නොවිය යුතුයි. ඒ නිසා පාලකයන් ලෙස අපි සියලුදෙනාට වගකීමක් තිබෙනවා. අපේ රටේ ජනතාව දෙවැනි වටයකින් මේ ආර්ථික අර්බුදයට මුහුණ නොදිය යුතුයි. ඒ වෙනුවෙන් අපි ආර්ථිකයේ ඉහළ මට්ටම ඉතා හොඳින් ශක්තිමත් කළ යුතුයි.
නීතියේ ආධිපත්‍යය තහවුරු වූ රටක් අවශ්‍යයි. ඔබ අවශ්‍ය පරිදි දේශපාලනය කරන්න. හැබැයි, දූෂිතයන් සඳහා දඬුවම් ලබා දෙන ක්‍රියාමාර්ග අඩපණ කිරිමට සිහිනෙන්වත් සිතන්න එපා. එයට සහාය ලබා දෙන්න කියා මම ඉල්ලනවා. මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය කිරිමේ ව්‍යායාමය අපි ආරම්භ කර තිබෙනවා. අපි කිසිදු පුද්ගලික අපේක්ෂාවකින් දේශපාලනය තෝරා ගත් පිරිසක් නොවෙයි. අද ජාතිකවත්, ජාත්‍යන්තරවත් ඕනෑම ව්‍යාපාරිකයෙක්, කර්මාන්තකරුවෙක්, ව්‍යවසායකයෙක් දන්නවා ලංකාවේ පළමු වතාවට දේශපාලන අධිකාරිය සොරකම් කරන්නේ නැහැ කියලා. එය ආයෝජන සඳහා ඉතා වැදගත්. ඒ වගේම යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමග අපේ රට ලෝකය ඉදිරියේ දීප්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමට එය ඉතා වැදගත්. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ අපේ රට කළු රටක් ලෙස ලියැවුණා. අපේ රට ජාත්‍යන්තර වශයෙන් කළු චිත්‍රයක් තිබූ රටක්. අනාගත පරපුර වෙනුවෙන් අපි මේ රට පිරිසිදු කළ යුතුයි. දරුවන්ට අභිමානයෙන් ජීවත් විය හැකි රටක් බවට මේ රට පත් කළ යුතුයි.
එහිදී, පළමු කරුණ ලෙස නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. ඒ වගේම ආර්ථික සමෘද්ධිය ඇති කළ යුතුයි. ඒ වගේම මේ සමාජයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය අපි අවසන් කළ යුතුයි. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම මේ සියල්ල එකට ගැට ගැසී තිබෙන බව අපි දන්නවා.අපි මේවා සමඟ හැප්පෙනවා. ඒ සඳහා අපිට තව පොඩි කාලයක් ලබා දෙන්න. මේ ව්‍යසනය මැඬපැවැත්විය යුතුයි. එහිදී අප ඉවසීමෙන්, සැලසුම්සහගතව කටයුතු කළ යුතුයි.
ආර්ථික තත්ත්වය, පොදු පුරවැසියන්ට හොඳ ජිවිතයක්, දරුවන්ට හොඳ අනාගතයක්, හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. මකලා තිබෙන මේ රට අපි ගොඩනඟනවා. ඒ නිසා ඉතා ස්ථාවරව සහ ශක්තිමත්ව මෙම වැඩපිළිවෙළ ඉදිරියට යමින් තිබෙනවා. කවුරුත් කකුල් වෙට්ටු දාන්න කල්පනා කරන්න එපා. නීතිය තිබෙන බව ඔබ අමතක කරන්න එපා.
අපි මෙවර අයවැය ලේඛනය සකස් කරන විට රටේ සියලුම ක්ෂේත්‍ර සමඟ සාකච්ඡා කරනවා.ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබා දීමට අපි උපරිම උත්සාහ කරනවා. මේ රට යළි ප්‍රබෝධමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ සඳහා ස්ථීර අදිටනින් යුතුව අපි වැඩ කරමින් සිටිනවා.
ඔබ ඔබේ දේශපාලනය කරන්න. හැබැයි, කුමන්ත්‍රණය කරමින් තමන් ළඟට නීතිය එන විට අරාජිකත්වයක් රට තුළ නිර්මාණය කිරීමට උත්සාහ කරනවා නම්, එයට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා කවුරුන්, කොතැනක, පාතාලය උපයෝගී කරගෙන හෝ පැරදුණු කණ්ඩායම් දේශපාලන කුමන්ත්රණයක යෙදෙනවා නම් සද්භාවයෙන් මේ රට ගොඩනැඟීමට යන ගමනට කිසිදු කුමන්ත්‍රණයක් කිරීමට ඉඩ දෙන්නේ නැහැ. නීති ප්‍රමාණවත් නැතිනම් අපි නීති හදනවා.
අපි මේ රට ගොඩගත යුතුයි. තමන්ගේ අහිමි වූ වරප්‍රසාද නිසා හෝ තමන්ට දඬුවම් ලැබෙයි කියා හෝ කරන කුමන්ත්රණවලට රට ගොදුරු නොවිය යුතුයි. අනිත් ආණ්ඩු කුමන්ත්රණවලට හසු වුණා.
එහෙත් අපි මේවා හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා කවුරුන් හෝ රාජ්‍ය තුළ සිට හෝ පිට සිට මේ රට ගොඩනැඟීමට යන ගමනට කුමන්ත්රණකාරී ලෙස බිඳ වැට්ටවීමට උත්සාහ කරනවා නම් ඒවා පරාජයට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. අද එක එක විකෘති ප්‍රකාශ කරනවා. හැබැයි, අපි දොරේ සද්දෙත්, බෙරේ සද්දෙත් දෙකම හඳුනනවා. ඒ නිසා කුමන්ත්‍රණයක් කිරීමට සිතුවිල්ලක් හෝ තිබෙනවා නම් අපි ඊට ඉඩ දෙන්නේ නැහැ. ඔබ දේශපාලනය කරන්න. රට අද ඉතාමත් හොඳ පීල්ලකට අපි අවතීර්ණය කර තිබෙනවා. රටත්, ජනතාවත් පත්ව තිබෙන අපකීර්තියෙන් සහ අසීරුතාවෙන් අපි රට මුදා ගන්නවා. එම වුවමනාව අපිට තිබෙනවා. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ වෙනුවෙන් අපිට සද්භාවයෙන් සහාය ලබා දෙන ලෙස විපක්ෂයෙන් ඉල්ලනවා.
දිස්ත්‍රික් සංවර්ධනයේදී ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. එය ඊළඟට විසඳන්නම්. අපි ඇත්තටම වෙන් කළේ දිස්ත්‍රික්කවලට. දිස්ත්‍රික්කයෙන් ඒ මුදල්වලට සරිලන යෝජනා ප්‍රමාණයක් සෑම මන්ත්‍රීවරයාගෙන්ම ගත යුතුව තිබුණා. අයවැය ඉදිරිපත් කරන විට අපේ අපේක්ෂාව වුණේ සෑම මන්ත්රීවරයාටම ඒ ප්‍රතිපාදන ලැබිය යුතු බවයි. දිස්ත්‍රික්කයට මුදල් ප්‍රමාණය ගියාට පසු ඊට සරිලන යෝජනා ප්‍රමාණයක් ඒ දිස්ත්‍රික්කයේ සෑම මන්ත්රීවරයෙකුගෙන්ම ගත යුතුව තිබුණා. එහෙත් සමහර ස්ථානවල එය බිඳ වැටී ඇති බව මටත් වාර්තා වී තිබෙනවා. ඊළඟ වසරේදී එසේ සිදු වන්න ඉඩක් නැති බවට මම සහතික වෙනවා.
අපි අයවැය ලේඛනය ඉදිරිපත් කළේ මාර්තු මාසයේ 21. ඒ විගසම පළාත් පාලන ඡන්දය කැඳෙව්වා. එය අවසන් වුණේ මැයි 6. එතකොට අර ව්‍යාපෘතිවලට යන්න මැතිවරණ කොමිසමෙන් බාධා තිබුණා. ඒ නිසා මේ ව්‍යාපෘති පිළිබඳ කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙන්නේ මැයි 6න් පසුවයි. ඒ අනුව කාලය කෙටියි. දෙසැම්බර් මාසයේ 31 වන විට අවසන් කර ගත යුතු නිසා. ඒ නිසා මේ යෝජනාවලදී සමහර මන්ත්‍රීවරු අත්හැරෙන්න ඇති.
අපේ රටේ අමාත්‍යාංශයට මුදල් වෙන් වූ පසුවයි ක්‍රියාකාරකම් පටන් ගන්නේ. හැබැයි, අපි 2025ට වෙන් කළ අයවැයේ මුදල් ඔක්කොම දෙනවා. අද තියෙන්නේ අපට මුදල් ලබා දිය හැකියි. වැඩ කටයුතු යම් ප්‍රමාණයකින් ප්‍රමාද වී තිබෙනවා. ඒ නිසා අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රමාද වෙනවා කියන කතාව මින් පසු සිදු වන්නේ නැහැ. 2026 අපි අයවැය ලේඛනය අනුමත කළ විගස ජනවාරි මාසයේ සිට ආරම්භ කළ හැකි ලෙස මුදල් ලැබෙනවා.
එසේ නොමැතිව, මේ ගොල්ලොන්ට මුදල් දෙන්නෑ වගේ දේශපාලයක් අපි කරන්නේ නෑ. කාටත් මන්ත්‍රීවරු ලෙස අදාළ මුදල් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ලබන අයවැය ලේඛනයෙන් යම් සහන වාහනයක් මන්ත්‍රී ධුර කාලයට පාවිච්චි කර ආපසු දෙන පදනම මත ලබා දීමටත් අප අපේක්ෂා කරනවා.
ඉතාමත් හොඳ ගමනකට අපි අඩිතාළම දමා තිබෙනවා. මේ ගමන තමයි අපට යන්න තිබෙන්නේ. ඔබ වෙනස් දේශපාලන පක්ෂ ලෙස ඉන්න. බලය ලබා ගැනීම සඳහා අරමුණින් වැඩ කරන්න. එය හොඳයි. හැබැයි, කුමන්ත්‍රණවල යෙදෙන්න එපා. රටේ අස්ථාවරභාවයක් නිර්මාණය කරන්න එපා ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවක් නිර්මාණය කරන්න එපා කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.
ජනාධිපති මාධ්‍ය අංශය