නාගරික සංවර්ධන,ඉදිකිරීම් සහ නිවාස අමාත්ය අනුර කරුණාතිලක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්රී ලංකා - පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමේ රැස්වීම කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තු පරිශ්රයේදී පැවැත්විණි.
ශ්රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්රාමික) ෆහීම් උල් අසීස් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.
නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතා,අමාත්යවරුන්,නියෝජ්ය අමාත්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
එහිදී, පාර්ලිමේන්තු මන්ත්රී රියාස් ෆාරුක් මහතා ශ්රී ලංකා - පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් විය.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා, ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළඳ, අධ්යාපනික, ආරක්ෂක ඇතුළු අංශ ඔස්සේ මෙන්ම සහ දෙරට ජනතාව අතර පවතින පුළුල් සබඳතාවය සිහිපත් කළේය.
ශ්රී ලංකාවට පාකිස්ථානය දක්වන අඛණ්ඩ සහයෝගයට කෘතඥතාව පළ කළ කථානායකවරයා, මිත්රත්ව සංගමය නැවත පිහිටුවීම මෙම මිතුදම ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් බව අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්රාමික) ෆහීම් උල් අසීස් මහතා, අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කළ අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා පකිස්ථානයේ කැපවීම අවධාරණය කළේය.
මිත්රත්ව සංගමය මඟින් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්යතාව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් ආගමික හා සංස්කෘතික උරුමයන්ට අදාළව සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේ හැකියාව ඒ මහතා පෙන්වා දුන්නේය.
පාකිස්ථානයේ සංචාරයකට එක්වන ලෙස ද සංගමයේ සාමාජිකයින්ට ඔහු ආරාධනාවක් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපති අමාත්ය අනුර කරුණාතිලක මහතා, තමා එම තනතුරට තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාමාජිකයින්ට ස්තූතිය පළ කළ අතර, සංගමය දෙරට අතර සාකච්ඡා, සහයෝගීතාවය සහ විශ්වාසය ගොඩනැගීම සඳහා අර්ථවත් වේදිකාවක් සපයන බව පැවසීය.
සංගමයේ ක්රියාකාරකම් සඳහා ක්රියාකාරීව දායක වන ලෙස ඔහු සියලුම සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් ද කළේය.
රැස්වීමේ ස්තූති කතාව පවත්වමින්, අභිනව ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රියාස් ෆාරුක් මහතා, කථානායකවරයා, මහ කොමසාරිස්වරයා ඇතුළු පැමිණ සිටි සියලුම සාමාජිකයින්ට සිය කෘතඥතාව පළ කළේය.
ශ්රී ලංකාවට පාකිස්තානය දක්වන අඛණ්ඩව සහයෝගය ඔහුගේ ඇගයීමට ලක්වූ අතර සංගමයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සෙසු සාමාජිකයන් සමඟ කටයුතු කිරීමට කැපවන බව ප්රකාශ කළේය.
මෙම රැස්වීමට පෙර, ආයෝජන, වෙළඳ, සංචාරක සහ අධ්යාපනික යන ක්ෂේත්රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා ශ්රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා සහ කථානායකතුමා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි.