Friday, August 08, 2025
Follow Us
30කට පසුව පත්වන ජාතික තරුණ  සංගමයේ  සාමාජිකාවන්ට පාර්ලිමේන්තුවේදී විශේෂ වැඩසටහනක්

ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම  වෙනුවෙන්  වසර 30කට පසුව පත්වන ජාතික තරුණ  සංගමයේ  සාමාජිකාවන් වෙනුවෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් පාර්ලිමේන්තුවේදී  විශේෂ  වැඩසටහනක්. 

ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම වෙනුවෙන්  ලබන 19 වැනිදා  ජාතික තරුණ සේවා සභාවේ පත්වීමට නියමිත  ජාතික තරුණ  සංගමයේ  සාමාජික  සාමාජිකාවන්ට පාර්ලිමේන්තුවට ආරාධනා කොට ඔවුන් සමග විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින්   තීරණය කරන ලදී.

ඒ  තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන්  එම සංසදය පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ  සංසදයේ සභාපතිවරයා   ජාතික තරුණ සේවා සභාවේ ජාතික තරුණ  සංගමය සඳහා   සාමාජිකයින් පවතන්නේ වසර  30ට පසුව වීම විශේෂත්වයක් බව පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන්  2025 අගෝස්තු 12 වන දිනට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනය සැමරීමට   මෙලෙස  ජාතික තරුණ සේවා සභාවේ  තේරීපත්වන  එම  ජාතික තරුණ  සංගමයේ  සාමාජිකයින්ට  විශේෂ  පිළිගැනීමක්  ලබාදීම වෙනුවෙන් මෙම වසටහන සංවිධානය කරන බව පැවසුවේය.

තවද මෙහිදී තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයට අන්තර් ජාතික වශයෙන් ද සහයෝගයෙන් වැඩකටයුතු සිදුකල හැකි අවස්ථාවන් පිළිබඳවද සාමාජික මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සිදුවිය. එමෙන්ම තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දැක්ම සහ මෙහෙවර පාඨ  සකස් කිරීම උදෙසා  විශේෂ කමිටුවක් සංසදයේ  සාමාජිකන්ගෙන්  පත් කර ගන්නා ලදී.

මේ අවස්ථාවට  සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන්  වන ලසිත් භාෂණ ගමගේ, තනුර දිසානායක, නීතිඥ හසාරා ලියනගේ යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද ඇතුළුව සාමාජික ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක්  සහභාගී වූහ.