Thursday, September 19, 2024
Follow Us
08 වන කැනෝ ස්ප්‍රින්ට් ශූරතාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

ජාතික ඔරු සහ කයාකිං සංගමය (National Association of Canoe and Kayaking in Sri Lanka - NACKSL) විසින් සංවිධානය කරන ලද 08 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය, පසුගිය සැප්තැම්බර් 14 සිට 16 දින දක්වා ප්‍රථම වරට යාපනය කොටුව ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී සාර්ථකව පැවැත්වූ අතර, තරඟාවලියේ  සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද, එහි අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවද හිමිකරගැනීමට සමත් විය.

උතුරු පළාතේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ජාතික ඔරු පැදීම සහ කයාකිං සංගමය හා එක්ව ප්‍රථම වරට සංවිධානය කල මෙම ශූරතාවය, ප්‍රදේශයේ ජල ක්‍රීඩා ලෝලීන්ට නවමු අත්දැකීමක් ගෙන දීමට සමත් වූ අතර, ඒ සඳහා උතුරු පළාත් සභාව සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපරිම සහය ලබා දීම සිදු කෙරිණි.

විශේෂයෙන් ප්‍රදේශයේ පාසල් අතර උද්යෝගයක් ඇති කිරීම සඳහා මෙම ශූරතාවයට සමඟාමීව සංවිධානය කල ඩ්‍රැගන් බෝට්ටු තරඟාවලියේදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කල ඩෙල්ෆ්ට් මහ විද්‍යාලය, ඩ්‍රැගන් බෝට්ටු බාලක සහ බාලිකා  ශූරතා දෙකෙහිම ජයග්‍රහණ හිමි කරගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන් මහතා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මාලා ලමාහේවා, ජාතික ඔරු සහ කයාකිං සංගමයේ සභාපති හා බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ, වන්නි ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් චන්දිමාල් පීරිස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කයාකිං කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් තුෂාර මහලේකම්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කයාකිං කමිටුවේ සභාපති එයාර් කොමදෝරු අසිත හෙට්ටිආරච්චි, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ජයන්ත බංඩාර, යාපනය දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ, ප්‍රාදේශීය ලේකම් වේලනෙයි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, උතුරු නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයන්, ප්‍රදේශයේ පාසැල් දරු දැරියන්, ගුරුවරුන්, ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.