Thursday, September 19, 2024
Follow Us
 ඩී.බී. වෙලගෙදර මධ්‍ය මහා විද්‍යාලය සඳහා නවීන අංග සම්පූර්ණ පුස්තකාලයක්

කුරුණෑගල ඩී.බී. වෙලගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු නවීන අංගසම්පුර්ණ පුස්තකාලය සිසු අයිතියට පවරා දීම එහි ආදි ශිෂ්‍ය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) සිදු විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මඟපෙන්වීම අනුව ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් මෙම අංග සම්පූර්ණ පුස්තකාලය පාසලට ලබා දී තිබේ.

ඩී.බී. වෙලගෙදර මධ්‍ය මහා විද්‍යාලයෙහි සිසු සිසුවියන් 2000 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර, එම සිසු දරු දැරියන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම අමතර අධ්‍යාපනය සඳහා වැදගත්වන පොත්පත් රැසකින්ද, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දැනුම ලබාගැනීම සඳහා උපකාරී වන පරිගණක, අන්තර්ජාල පහසුකම්, සුහුරු රූපවාහිනියක් (DP Education Foundation හි අනුග්‍රහයෙන්) සහ තවත් විද්‍යුත් උපකරණ ගණනාවක් ද මෙම පුස්තකාලය සඳහා ලබා දී ඇත.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන සිසු දරු දැරියන්ගේ දැනුම වර්ධනය කරගැනීම සඳහා මෙම පුස්තකාලය මහඟු දායාදයක් වනු ඇත.

තවද මෙම වැඩසටහන යටතේ මීගමුව දූව කනිෂ්ඨ විද්‍යාලයේ සහ නවගත්තේගම කෝන්කඩවල රජයේ විද්‍යාලයේ පාසල් පුස්තකාල දෙකක් සංවර්ධනය කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසෙන දක්ෂ දරු දැරියන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කරමින් ගුණ නැණ පිරි අනාගත දරු පරපුරක් රටට දායාද කිරී‍ම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

පුස්තකාලය සිසු අයිතියට පවරාදීමෙන් අනතුරුව සිසු දරුවන් ඇමතූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේ තරාතිරම කුමක් වුවද වැදගත් වන්නේ පුද්ගලයෙකු සමාජයේ ජීවත්වන අන්දම බවයි. පොත පත පරිශීලනය යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමට ඉවහල්වන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එහි උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සිසුන් කටයුතු කරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

එසේම මෙම පුස්තකාලය පරිහරණය සඳහා ප්‍රදේශයේ අනෙකුත් පාසල්වල සිසුන්ට ද හැකිනම් අවස්ථාවක් සලසාදෙන ලෙසද විදුහල්පතිවරයාගෙන් ඉල්ලා සිටි ජනාධිපති ලේකම්වරයා මෙම කාර්ය වෙනුවෙන් දායක වූ චීන තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහ සියලුදෙනා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මීට වසර 60කට පෙර ශිෂ්‍යයෙක් ලෙස මේ පාසලට පැමිණ වසර 50කට පෙර පාසලින් පිටවූ මට නැවත අද මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. එදා මම මේ පාසලේ ශිෂ්‍යයෙකුව සිටියදී පොත් කියවීමට ඉතා උනන්දුවක් දැක්වුවා. පාසලේ එක් කබඩ් එකක පොත් ටිකක් තිබුණා. අපි හැමදාම ඇවිත් ඒ පොත් අරගෙන කියෙව්වා. ඒ සඳහා එදා පුස්තකාලය භාරව සිටි පතිරාජ ගුරුතුමා අපට අවස්ථාව ලබා දුන්නා. අප සූමානයක් ඇතුළත එම පුස්තකාලයේ පොත් කියවා අවසන් කළා.

කෙසේ හෝ සාමාන්‍ය පෙළ දක්වා මම මේ පාසලේ අධ්‍යාපනය ලබා උසස් පෙළ සඳහා කුරුණෑගල ලක්දාස ද මැල් විද්‍යාලයට ඇතුළත් වුණ. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණ විට මම ඒ බව දැනුම්දීමට මෙම පාසලට පැමිණි අවස්ථාවේ විදුහල්පතිවරයාව සිටියේ පතිරාජ මැතිතුමායි. එතුමා මට කිව්වා උපාධියක් කර සමත් වු විට “sky is the limit” කියලා. ඒ කියන්නේ අහස තමයි සීමාව කියලා. අපි දන්නවා අහසේ උඩට යන්න පුළුවන් ප්‍රමාණයේ සීමාවක් නැහැ. එතුමා ඒ කළ ප්‍රකාශය සත්‍යයක් බව අද ඇස් පනා පිටම ඔප්පු වී තිබෙනවා. ඒ වගේම අපේ නැටුම් ගුරුතුමා වු කිරිබණ්ඩා මැතිතුමා අපට ජීවත්වන හැටි කියා දුන්නා. ජීවිතේ එන ප්‍රශ්නවලට මුහුණදෙන හැටි කියා දුන්නා.

මම මේ පාසලේ 3 පන්තියේ සිට 10 වන පන්තිය දක්වා අධ්‍යාපනය ලැබුවා. පාසලක් කියන්නේ ගොඩනැගිලි ටිකක් වුණත් අපේ රටේ අනාගතය තිබෙන්නේ ඒ ගොඩනැගිලි තුළයි. එම දූ දරුවන්ට පොත පත කියවීමට, දැනුම ලබා ගැනීම වෙනුවෙන් මෙම පුස්තකාලය ලබා දීමට අප කටයුතු කළා. ඒ වගේම මේ ප්‍රදේශයේ අනෙක් පාසල්වලටත් හැකිනම් වරුවක් හරි මේ පුස්තකාලය පරිහරණය කිරීමට අවස්ථාවක් ලබාදී එම දරුවන්ටත් දැනුම ලබාගැනීමට අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීමද මම මෙහිදී සිදු කරනවා.

එසේම මෙම කාර්යය ඉටු කර ගැනීමට ශක්තියක් වූ චීන තානාපතිතුමාට සහ එතුමාගේ කාර්ය මණ්ඩලයටත් අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙම පුස්තකාලය ප්‍රයෝජනයට ගෙන පොත පත කියවා හොඳ පුරවැසියෙක් වන ලෙස මම මේ දරු දැරියන්ගෙන් ඉල්ලා සිටිනවා. තරාතිරම නොවෙයි වැදගත් වන්නේ, තමන් සමාජයේ ජීවත්වන ආකාරයයි. ඒනිසා යහපත් හොඳ පුරවැසියන් පිරිසක් ගොඩනැඟීමට අප ගත් මෙම උත්සාහය ඵලදායී කිරීමට සියලු දරුවන් කැපවනු ඇතැයි මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් දීපිකා කේ. ගුණරත්න මහත්මිය ද උත්සව සභාව ඇමතූහ.
පාසලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, විශ්‍රාමික ගුරුභවතුන්, සිසුන්, දෙමාපියන් හා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.