Tuesday, July 14, 2026
Follow Us
ඇමෙරිකාවෙ දරුණු ගුවන් අනතුරක්
අමෙරිකාවේ මිසූරි ප්රාන්තයේ බට්ලර් අනුස්මරණ ගුවන් තොටුපළ අසලදී සිදුවූ දරුණු ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

 

පැරෂුට් සංදර්ශන සඳහා ස්කයිඩයිවර්වරුන් රැගෙන යමින් තිබියදී  මෙම යානය ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටී ඇති බව ද වාර්තා වෙයි.
 
මෑත දශක කිහිපය තුළ ඇමරිකාවේ සිදුවූ දරුණුතම පැරෂුට් ක්රීඩා ආශ්රිත ගුවන් අනතුරක් ලෙස මෙය බලධාරීන් හඳුන්වා දී තිබෙන අතර අනතුරට පත්ව ඇත්තේ ස්කයිඩයිව් කැන්සාස් සිටි ආයතනය විසින් මෙහෙයවනු ලැබූ පැසිෆික් එයරොස්පේස් වර්ගයට අයත් තනි එන්ජිමක් සහිත ගුවන් යානයක් බව ද වාර්තා වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි නියමුවා සහ මගීන් එකොළොස් දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බව මිසූරි මහාමාර්ග පොලිසිය තහවුරු තිබේ.
 
මියගිය පිරිස අතර පළපුරුදු පැරෂුට් ක්රීඩකයන් නව දෙනෙකු සහ පළමු වරට යුගල පැරෂුට් පිම්මකට එක්වීමට සූදානම් වූ දෙදෙනෙකු සිටින බව ද සඳහන් වේ.
 
ගුවන්ගත වූ වහාම යානයේ එන්ජිමේ බලය අඩුවීම හේතුවෙන් නියමුවා එය මහාමාර්ගයක් වෙත ගොඩබැස්වීමට උත්සාහ කර ඇති බවත්, එහිදී යානය පාලනයෙන් මිදී ඉදිරිපස කොටසින් බිමට කඩා වැටී ගිනිගෙන ඇති බවත් ගුවන් තොටුපළ බලධාරීන් පවසා තිබේ.
 
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.