Friday, April 19, 2024
Follow Us
කොරෝනා මැද පැවැති සාදයක් නිසා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාට ධූරය අහිමිවීමේ අවදානමක්

ධූරයෙන් ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඒ, ඔහු නියෝජනය කරන බ්‍රිතාන්‍යය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රභලයින් පිරිසකගෙන්. ඊට හේතුව වී ඇත්තේ කොවිඩ් වසංගතයේ දඩි අවදානම මැද අග්‍රාමාත්‍යවරයා විසින් සිය නිල නිවස තුළ සාදයක් සංවිධාන කිරීමයි.

මෙම සාදය පවත්වා ඇත්තේ ඉකුත් 2020 වසරේ මැයි මස 20 වනදායි. ඒ වනවිට බ්‍රිතාන්‍යය තුළ දැඩි ලෙස කොරෝනා වසංගතය පැතිර තිබූ කාලසීමාවක් වන අතර බ්‍රිතාන්‍යය අගුළු දැමීමකට ද ලක් කර තිබුණා.

එවන් පසුබිමක් තුළ “නම්බර් 10” පරිශ්‍රයේ සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාට චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙනවා. ඇතැමුන් පවසන්නේ රට වැසියන් වසංගතයකින් මියයමින් සිටි අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා මධුවිත පානය කරමින් විනෝද වී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව හමුවේ ඊයේ සමාව අයැද තිබෙනවා. කෙසේවෙතත් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රභලයින් පිරිසක් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ ධූරය අතහැරිය යුතු බවයි.

කෙසේවෙතත් පාලක පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පෙනී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නිසි පරීක්ෂණයක් පැවැත්වීමකින් තොරව ඉක්මන් තීරණ ගත යුතු නොමැති බවයි ඔවුන් පවසන්නේ.

එහෙත් අග්‍රාමාත්‍යවරයා පක්ෂයේ නායකත්වයට සුදුසු නොමැති බවත්, විශ්වාසය කඩකිරීම නිසා ඔහුගේ නායකත්වය අභියෝගයට ලක් කර යළි ඡන්දවිමසීමක් පැවැත්විය යුතු බවත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහි කන්සර්වේටිව් මන්ත්‍රීවරුන් තරයේ අවධාරණය කරනවා.

(Neth)