Friday, April 26, 2024
Follow Us
යුරෝපය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීම්

යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන්. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉදිරි මාස දෙක තුළදී යුරෝපීය වැසියන්ගෙන් සියයට 50 කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් විය හැකි බවයි.

වර්තමානයේදී යුරෝපය තුළ පවතින ඔමික්‍රෝන් ආසාදිත අනුපාතය අඛණ්ඩව පැවතුනහොත් එම තත්ත්වය උද්ගත වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය කලාපීය අධ්‍යක්ෂ හාන්ස් ක්ලූගේ පැවසුවේ ඔමික්‍රොන් ප්‍රභේදය යුරෝපානු කලාපය තුළ සුනාමියක් සේ පැතිර යන බවයි. ඒ අනුව මෙම වසරේ පළමු සතිය තුලදී යුරෝපයෙන් නව ආසාදිතයින් මිලියන හතක් පමණ වාර්තා වී ඇතැයි ඔහු පෙන්වා දෙනවා. සති 02 ක කාලය තුලදී යුරෝපයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර යුරෝපයට අමතරව අමෙරිකාව, ඉන්දියාව හා ඔස්ටේ්‍රලියාව ඇතුළු රටවල් කිහිපයකින්ම මේවනවිට වාර්තා ගත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වෙමින් තිබෙනවා. ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේයි.

(Neth)