Friday, April 19, 2024
Follow Us
ශ්‍රී ලංකාවට සැමවිටම සහය දෙන බවට චීන විදේශ ඇමතිගෙන් ජනපතිට සහතිකයක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී අතර හමුවක් ඊයේ සිදුවුණා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

චීන ජනාධිපතිවරයා ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිවරයා එහිදී දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. කොවිඩ් වසංගතයට මුහුණදීමේදී චීනයෙන් ලැබුණු ආධාර වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේත්, මෙරට ජනතාවගේත් ස්තූතිය පිරිනමන බවයි ජනාධිපතිවරයා එහිදී චීන විදේශ අමාත්‍යවරයා හට පවසා ඇත්තේ. මෙරටට සයිනොෆාම් එන්නත් ලබාදෙමින් චීනය දැක්වූ සහයෝගයට ද ජනාධිපතිවරයා එහිදී සිය ස්තූතිය පළ කළා.

නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර ඇති බැවින් චීන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍ය වැන්ග් යීට පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම චීනයෙන් සිදුකරන ආනයනවලදී සහනදායී වෙළඳ ණය ක්‍රමයක් ලබාගැනීමට හැකිවෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරයා පැවසුවේ යළිත් වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳ තමන් සතුටට පත්වන බවයි.

එමෙන්ම සමීප මිතුරෙකු ලෙස චීනයේ සහයෝගය සෑමවිටම ශ්‍රී ලංකාවට ලබාදෙන බව ද චීන විදේශ අමාත්‍යවරයා, ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා. එමෙන්ම චීනයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවුණා. ඒ, අරලියගහ මන්දිරයේදීයි. සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීම සඳහා යළි චීනයට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට එහි පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් මෙරට වෛද්‍ය සිසුන්ට නැවත එහි පැමිණීමේ පහසුකම් සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය සමග සමීපව කටයුතු කරන්නැයි චීන විදේශ අමාත්‍යවරයා, මෙරට චීන තාතාපතිවරයාට උපදෙස් ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ චීනය අතර ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබුණා.

(Neth)