Tuesday, May 07, 2024
Follow Us
ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම්වලට අත්සන් තබයි

උදය ගම්මන්පිල තැබූ ට්විටර් පණිවුඩය මෙන්න


ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඒ අනුව, ඉන්දියාවේ පාලනය යටතේ පැවති ටැංකි 99 න් 85 ක් ශ්‍රී ලංකා පාලනය යටතට පත් වනු ඇතැයි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අදාළ ගිවිසුමට අත්සන් කළ පාර්ශ්ව අතර භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා IOC සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළත් වෙයි.
ලංකා IOC සමාගම දැනටමත් භාවිතය ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීම සිදුවෙයි.

එහිදී අයි ඕ සී සමාගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තවත් වසර 50කට ඔවුන්ට බදුදීමට නියමිතය.

ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා IOC සමාගමට 49%ක් කොටස් අයිතිය හිමිවන ලෙස ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත සමාගම හරහා සංවර්ධන කිරීම මෙම ගිවිසුම මගින් සිදුකරයි.

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හරහා පැහැදිලි කළ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ,

“විගණකාධිපතිවරයා විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරන්න පුළුවන් සමාගම ගැන. විෂයභාර ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ. තෙල් සංස්ථාව ඝෘජුව ලබාගන්න ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබාගන්නා ටැංකි 61 කියන දෙක එකට ගත්තහම සමස්ථ ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙනවා. ලංකා අයි ඕ සී සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි,” යනුවෙනි.

(Aruna)