එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට එරෙහි පොදු වාර්තාවක් සකස් කිරීමට දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ පක්ෂ අටක් ඒකමතිකව තීරණය කර ඇත.
දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, තමිල් මක්කල්දේසීය කූට්ටනි, තමිලර් වාල් උරිමයි ඉයක්කම්, දෙමළ ජාතික පක්ෂය, ඊල මක්කල් සුයාට්චි කලහම් ඇතුළු පක්ෂ අටක් මෙලෙස එකඟත්වයකට පැමිණ ඇත. දෙමළ ජාතික පක්ෂයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ‘අරුණ’ට ඊයේ (10 වැනිදා) ඒ බව සනාථ කළේය.
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අටක සහභාගීත්වයෙන් කිලිනොච්චිය තෙරේසා ශාලාවේදී පෙරේදා (10 වැනිදා) සවස පැවැති රැස්වීමකදී සියලු දේශපාලන මතිමතාන්තර පසෙකලා මේ වෙනුවෙන් එක්සත්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ විමර්ශනය කරන ලෙසත් ජිනීවා මානව හිමිකම් කවන්සිලය ශ්‍රී ලංකා රජය කෙරෙහි දරදඬු අන්දමින් කටයුතු කළ යුතු බවත් අපරාධවලට සම්බන්ධ ආරක්ෂක අංශ නිලධාරීන් දණ්ඩිත කළ යුතු බවත් මෙම වාර්තාවට ඇතුළත් කෙරෙන බව පැවසේ. එමෙන්ම දේශීය මට්ටමින් කිසිදු විමර්ශනයක් පිළිගත නොහැකි බවට බලකරමින් සකස් කරන මෙම වාර්තාව එක්සත්ජාතීන්ගේ මහ ලේකම් සහ ජගත් මානව හිමිකම් කොමසාරිස් වෙත යොමුකිරීමට තීරණය වී ඇත.
(Aruna)