Sunday, November 15, 2026
Follow Us
අග්බෝ හස්තියා සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ ‘හස්ති සේනා’ මෙහෙයුම ඇමතිවරුන්ගේ නිරීක්ෂණයට

අලි–මිනිස් ගැටුම අවම කරමින් වන අලි ඇතුන්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ තිරප්පනේ ප්‍රදේශයේ ඊයේ (14) සිදුකළ විශේෂ මෙහෙයුම පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

අග්බෝ හස්තියා නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සිදු කෙරිණි.

පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී මෙහෙයුමේ ප්‍රගතිය සහ ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කළහ.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, අලි–මිනිස් ගැටුමට තිරසාර විසඳුම් ලබාදීමත්, වන අලි සම්පත මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමත් රජයේ ප්‍රමුඛතාවක් බවයි. ඒ සඳහා ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ දායකත්වය අතිශය වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, 212 වන පාබල බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන දායකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කමින්ද සිල්වා මහතාගේ සහ 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙහෙයුම සංවිධානය කර තිබිණි. 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදාන මහතාගේ සහභාගීත්වයෙන් එය ක්‍රියාත්මක විය.

මෙම මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් හත්දෙනෙකු සහ සෙසු නිලයන් 68 දෙනෙකු ඇතුළුව යුද හමුදා සාමාජිකයන් 75 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව සිටියහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා ඇතුළු තිරප්පනේ බීට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීහු ද මෙහෙයුමට එක්වූහ. ඒ අනුව අඩවි ආරක්ෂකවරුන් තිදෙනෙකු, අඩවි සහකාරවරුන් හයදෙනෙකු, වනජීවී නියාමකවරුන් අටදෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ සහායක නිලධාරීන් දෙදෙනෙකු ඊට සහභාගී වූහ.

මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණු අතර වන අලි ඇතුන්ට මරණය හෝ තුවාල සිදුකරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම, නීතිවිරෝධී ගිනි අවි සහ දඩයම් උපකරණ හඳුනාගෙන ඉවත් කිරීම, හක්කපටස් හා අනවසර විදුලි වැටවල් ඉවත් කිරීම සහ අලි ඇතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම ප්‍රමුඛ වේ.

එමෙන්ම අලි–මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කිරීම ද මෙහෙයුමේ තවත් ප්‍රධාන අරමුණකි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයුම් ශක්තිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය දැනුම හා අත්දැකීම් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ තුළින් වනජීවී සංරක්ෂණය සඳහා වඩාත් විධිමත් හා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් ගොඩනැඟීම අපේක්ෂා කෙරේ.

පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවීන්ද්‍ර කාරියවසම් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

වන අලි ඇතුන්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද සුරක්ෂිත කිරීමේ අරමුණින් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.