Tuesday, July 08, 2025
Follow Us
චීනයෙන් සහ ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2.5 ක (Swap Arrangement) විනිමය හුවමාරු සැලසුමක්

චීනයෙන් සහ ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක විනිමය හුවමාරු පහසුකමක් (Swap Arrangement) විදේශ සංචිත මට්ටම ශක්තිමත් කර ගැනීම අරමුණ කරගනිමින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් එය ඉතා ඉක්මනින් ලබාගත හැකි වනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

මේ ගැන දැනටමත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ද එම රටවල්වලින් මීට අදාළ ප‍්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටී.

මෙම විනිමය හුවමාරු පහසුකම ඉන්දියානු රිසව් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන එකක් සහ චීන මධ්‍යම බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වශයෙන් ලබා ගැනීමට නියමිතය. මෙමගින් විදේශ සංචිත මට්ටම වර්ධනය කරගෙන ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙය විදේශ වාණිජ ණය මුදල් ලබා ගැනීමට වඩා ආර්ථිකමය වශයෙන් රටට වාසිදායක වනු ඇති බව ඔහු පවසයි.

මේ විනිමය හුවමාරු පහසුකමේදී සිදු වන්නේ වෙනස් මුදල් ඒකකවලින් දෙපාර්ශ්වයක් අතර සමාන වටිනාකමක මුදල් ප‍්‍රමාණයක් පසුව නැවත පියවා ගැනීමේ එකඟතාව මත හුවමාරු කර ගැනීමයි.

පසුගිය දිනවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස පිරිහීමට ලක් වූ අතර එම තත්ත්වය සමනය කර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය. මේ තත්ත්වය හමුවේ පවතින විදේශ සංචිත මට්ටමට බලපෑම් එල්ල වන අතර මෙවැනි විනිමය හුවමාරු පහසුකමක් මගින් රටේ සංචිත තත්ත්වය වර්ධනය කරගෙන රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට හැකියාව ලැබෙන බව ද පැවසේ.

(Lanka Leads)