Friday, April 19, 2024
Follow Us
සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සඳහා සාගර නීතියේ ආධිපත්‍යයය තහවුරු කිරිමේ සාකච්ඡා සාර්ථකයි

සියලුම රාජ්‍යයන් අනාගත ආර්ථික සංවර්ධනය, ආහාර සුරක්‍ෂිතතාව සහ කර්මාන්ත අමුද්‍රව්‍ය සඳහා වැඩි වැඩියෙන් සාගර දෙසට යොමුවී සිටින හෙයින්, සාගර නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ජාත්‍යන්තරව පිළිගත හැකි පාලන ක්‍රමයක් පැවතීමේ වැදගත්කම පිළිබඳව සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳ ඉන්දීය සාගර කලාපීය සංගමයේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල සාකච්ඡාවකට සම්බන්ධ වූ ඉන්දීය සාගර කලාපයට අයත් රටවල නියෝජිතයන් මේ බව අවධාරණය කර ඇත. මෙම සාකච්ඡාව ඉකුත් 20 දා පැවැති අතර ඊට සම්පත් දායකයින් ලෙස මැක්ස් ප්ලැන්ක් පදනමේ මොරොක්කෝව හා සුඩානයේ කළමනාකාර අධ්‍යක්ෂ හා ව්‍යාපෘති ප්‍රධානි මහාචාර්ය රෙඩිගර් වෝල්ෆ්රම් හා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසමේ සාමාජික ශ්‍රීමත් මයිකල් වුඩ් යන මහත්වරු සම්බන්ධව සිටියහ. සාගර විද්‍යාත්මක පර්යේෂණ සහ සමූද්‍රිය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධතාවය යන තේමාව යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණ.

ප්‍රධාන වශයෙන්, වේගයෙන් වෙනස් වන තාක්ෂණයන් සහ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සමඟ සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ (MSR) පැවැත්වීමට හා සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවයට සාගර විද්‍යාත්මක පර්යේෂණවල ඇති බලපෑම සහ එහි ප්‍රතිවිරුද්ධ පැත්ත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) ඇතුළුව, දැනට පවත්නා සාගර පාලන පද්ධතිවල භාවිතයන් සහ හිඩැස් සමාලෝචනය කිරීම කෙරෙහි මණ්ඩලය අවධානය යොමු කළේය. ඉන්දියානු සාගරයේ වෙරළාසන්න රාජ්‍යයන් සඳහා පමණක් නොව ඉන් ඔබ්බට ද ලැබෙන ප්‍රතිලාභ පිණිස තවදුරටත් පවතින අවස්ථා සම්බන්ධයෙන් ගවේෂණය කිරීම සඳහා, සාගර විද්‍යාත්මක පර්යේෂණවල ඇති වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරිණි.

සාගර විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම සඳහා, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පූර්ව අවශ්‍යතාවක් වන බව තවදුරටත් සඳහන් කෙරිණ. අනෙක් අතට, සාගර විද්‍යාත්මක පර්යේෂණ සහ මානව ක්‍රියාකාරකම් මත පදනම් වූ තත්‍ය කාලීන සාගර වෙනස්වීම් පිළිබඳ බුද්ධි තොරතුරු, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා දායක වන ආකාරය පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

තවද, සිය මුහුදු ප්‍රදේශවල සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ විධිමත් කිරීම සඳහා රෙගුලාසි සහ මාර්ගෝපදේශ සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අවසන් කොට සම්මත කර ගැනීමෙන් අනතුරුව, ඉන්දියන් සාගර අවට රටවල සංගමයේ සාමාජික රටවල් අතර සිය අත්දැකීම් බෙදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත මෙම අන්තර්ජාල සාකච්ඡාව අතරතුර දී අනාවරණය කරන ලදී.

චන්ද්‍රිකා සහ ඩ්‍රෝන ඇතුළු වේගයෙන් සංවර්ධනය වන තාක්‍ෂණයන් සමඟ දුරස්ථ පාලක උපක්‍රම හරහා දත්ත එක්රැස් කිරීමට හැකි වීමත් සමඟ, පවත්නා සමහර සාගර පාලන රාමු ඉතා ඉක්මනින් කල් ඉකුත් වූ ඒවා වනු ඇති බව සාරාංශය අතරතුර දී මනා ලෙස ප්‍රකාශ විය. තවද, අනාගතයේදී සාගර සඳහා හබල් දුරේක්ෂයක් සංවර්ධනය ‍කෙරෙන්නේ නම්, සාගරයේ සිදුකෙරෙන සාගර විද්‍යාත්මක පර්යේෂණ අනවශ්‍ය බවට පත්වීමට ඇති හැකියාව සහ එමඟින් සාගර නීතිය හා අභ්‍යවකාශ නීතිය ඒකාබද්ධ කරමින් දෙමුහුන් නීතියක් මතුවීම වැනි ජාත්‍යන්තර නීතිය පිළිබඳ නව දර්ශන නිර්මාණය වීම පිළිබඳව ද සඳහන් කෙරිණ.

අවසාන වශයෙන්, සියල්ලන් විසින් බෙදාගනු ලබන පොදු උරුමය මත අනාගත පරම්පරාවන් රඳා පවතින බැවින්, වර්තමානයේ පවත්නා අභියෝග තුළින් නැඟී සිටිමින් කාලෝචිත ලෙස තෝරා ගැනීම් සිදුකිරීම අවශ්‍ය වන බවට මණ්ඩලය එකඟ විය. සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ හා සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ මංසන්ධියේ දියුණුව තුළින් කිසිවෙකුත් අත්හැර නොදමන, අපක්ෂපාතී, සාධාරණ හා සමෘද්ධිමත් ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන ජල විද්‍යාඥ සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ ප්‍රධාන ජල විද්‍යාඥ රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා, බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ අක්වෙරළ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා, විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය නීති උපදේශක තිලානි සිල්වා මහත්මිය සහ මැක්ස් ප්ලෑන්ක් පදනමේ සාගර නීතිය පිළිබඳ පර්යේෂණ සාමාජික පියරේන්ද්‍රියා ලියුචි මහතා අනෙකුත් කථිකයන් අතරට අයත් වූහ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය විසින් මෙම වෙබිනාර් සාකච්ඡාව මෙහෙයවන ලදී. ඇය මෙම වෙබ්නාර් සාකච්ඡාවේ ආරම්භක අදහස් දැක්වීම සහ සාරාංශය ද ඉදිරිපත් කළාය. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල සහ සංවාද හවුල්කරුවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්වතුන් සහ වෘත්තිකයින්ගෙන් සමන්විත 60 දෙනෙකු මෙම වෙබිනාර් සාකච්ඡාවට සහභාගී වූහ.

 

විදේශ අමාත්‍යාංශය