- රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව ප්‍රමාදවීමෙන් ගැටලු ගණනාවක් මතුවන බවත් මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී සිදුවන ප්‍රමාදය අතිශය කණගාටුදායක කරුණක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.
එහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් රෝහල්වල ඉදිකිරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය බරපතල ගැටළු ගණනාවකට මුහුණ දී ඇති බවත් සමහර ඉදිකිරීම් මීට වසර 08 කට පමණ පෙර ආරම්භ කර ඇතත්, එම වැඩකටයුතු යම් යම් හේතු නිසා අතරමඟ ඇණහිටීම හේතුවෙන් පළමු ඇස්තමේන්තුවට වඩා සියයට 50 ක 60 ක වැඩිවීමක් දිගින් දිගටම සිදු වී ඇති බවත් එය විශාල ගැටළුවක් බවත් සඳහන් කළේ ය. එමෙන් ම මෙරට සමහර රාජ්‍ය ආයතන සමග වැඩ කිරීමේ දී අතිශය ප්‍රමාදයන් සිදුවන බවත් එය ද ඉතා කණගාටුදායක තත්වයක් ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
මෙරට උපදේශන සේවා සහ ඉංජිනේරුමය සේවා සැපයීමේ දී මෙන් ම කොන්ත්‍රාත් වැඩපිළිවෙළේ දී තිබෙන ගැටලු සම්බන්ධව ජනාධිපතිතුමාගේ පවා අවධානය යොමු වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා භාණ්ඩාගාරය මුදල් ලබාදුන් පසු නියමිත කාලයේ දී ඉදිකිරිම් සිදු කළහොත් පමණක් ඇස්තමේන්තුවට අනුව එම කටයුතු අවසන් කළ හැකි බවත්, මුදල් වැඩි කර ඉල්ලා යොමු කරනු ලබන කැබිනට් පත්‍රිකා කිහිපයක් නිතර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වන බව ද මෙහි දී පැවැසීය. මින් ඉදිරියට රජය අලුතින් ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී එම ව්‍යාපෘති අවසන් කරන කාලය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කරන බව සඳහන් කළ ඇමතිවරයා ඒ අනුව ජනතාවට ද ප්‍රමාදයන් පිළිබඳ යම් බලපෑමක් කළ හැකි බව ද පැවසී ය.
මෙරටින් වසරකට අලුතින් පිළිකා රෝගීන් 33,000 ක් පමණ වාර්තා වන අතර එම පිළිකා රෝගීන් අතුරින් අපේක්ෂා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 11,000 ක් එනම් 35 % ක පමණ ප්‍රමාණයකට ප්‍රතිකාර සපයන බවත්, ළමා පිළිකා රෝගීන් ද 800 ක් පමණ හඳුනාගෙන ඇති බවත්, මෙම පිළිකා රෝගීන්ට ද ප්‍රතිකාර කිරිම සදහා තිබෙන විශේෂිත මධ්‍යස්ථානය ලෙස අපේක්ෂා රෝහල හඳුන්වා දිය හැකි බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී සඳහන් කළේ ය.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ දී රජය දැඩි උනන්දුවකින් කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා, අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) කඩිනමින් බලාදීමට කටයුතු කරන බව ද පැවසී ය. නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) 05 ක් මෙරට රෝහල් පද්ධතියට ලැබෙන බවත්, ආසියානු සංවර්ධන බැංකුව මගින් ද තවත් ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර (linear accelerator) යන්ත්‍ර දෙකක් මෙම රෝහලට ලබාදීමට කටයුතු කරන බවත් එයින් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන්ට විශාල සහනයක් ලැබෙන බව ද පැවසී ය.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනවා සේම පිළිකා රෝගයට ජනතාව ගොදුරුවිම වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියා කරන බවත්, මේ සදහා නියමු ව්‍යාපෘතියක් ලෙස පිළිකා රෝහලේ මුළුතැන්ගෙය පෞද්ගලික රෝහලක මුළුතැන්ගෙයක මට්ටමට ම සංවර්ධනය කරන බවත්, රෝගීයා ඉලක්ක කරගෙන සකසන ආහාර වට්ටෝරුව රෝගියාට ලබාදෙනවා වෙනුවට රෝගියාගේ අවශ්‍යතාවය පරිදි යම් සංශෝධනයන්ට යටත්ව රෝගියාට ගැළපෙන ආහාර වට්ටෝරුවක් ලබාදීමට නියමු ව්‍යාපෘතියක් පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයත් සමග මෙම රෝහලෙන් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.
රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැයකර ඉදිකිරීමට යෝජිත මෙම පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඇඳන් 80 ධාරිතාවයකින් යුත් ළමා වාට්ටු දෙකක්, ළමා දැඩිසත්කාර ඒකකයක්, ළමා බාහිර රසායනික චිකිත්සා ඒකකයකින් ද යුක්ත වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලබන මෙම ළමා වාට්ටු සංකීර්ණය වර්ෂයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂා කරයි. මෙහි සැලසුම් නිර්මාණය කිරීම ද පරිත්‍යාගයක් ලෙස නොමිලේ සිදුකර ඇත.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්, හුණුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්, අපේක්ෂා රෝහල් විහාරයේ විහාරාධිපති හේනේගම ධම්මාධාර නාහිමි ඇතුළු ව, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ රුෂාන්ත සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය බී.අයි.කුරුකුලසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර, යන මහත්ම මහත්මීන් ඇතුළුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක් සහභාගි වූහ.