Tuesday, September 17, 2024
Follow Us
දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ගයේ නිරීක්ෂණයක්

උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන උමං ජල මාර්ගය ඊයේ(10) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම ව්‍යාපෘතිය තුළ කිලෝමීටර් 28 ක් දිග උමන් ජල මාර්ගයක් ඉදිවෙමින් පවතින අතර, මෙයින්  මොරගහකන්ද හා කළුගඟ ජලාශවලින් උතුරු මැදට ජලය රැගෙන ඒමට සැලසුම්කර ඇත. මෙම මහ ඇලෙහි ඉදිකීරීම් අවසන් වූ පසුව එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 96 කි. ඇල මාර්ගය ඉදිකිරීමේ දී පලුගස්වැව හා මහමීගස්වැව  යන ප්‍රදේශවල දී කඳු සහිත ස්ථාන හමුවන නිසා සමස්ත ඇලෙන් කිලෝමීටර් 28 ක දුරක් ජලය රැගෙන යාමට සැලසුම්කර ඇත්තේ උමං මාර්ගයක් ඔස්සේ යි. උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව එය දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ගය ද වේ. මෙම උමං මාර්ගය ඉදිකිරිමට වැයවන මුදල රුපියල් මිලියන 49,000 කි.

මෙම උමං මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු  බී.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.සෙනෙවිරත්න බණ්ඩා මහතා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත කියා සිටියේ උමං මාර්ගයේ ඉදිකිරීම් වලින් සියයට 39 ක පමණ ප්‍රමාණයක් මේ වන විට අවසන්කර  ඇති බවයි. 2021 වර්ෂයේ ආරම්භ කල මෙම ව්‍යාපෘතිය   2026 වර්ෂයේ  මාර්තු මාසයේ දි නිම කිරිමට සැලසුම් කර ඇත. කැණිම් යන්ත්‍ර දෙකක් මගින් මේවන විට උමග ඉදිකිරිම සිදු වේ.

නව තාක්ෂණය සමගින් ඉදිවන මෙම උමං ජල මාර්ගය 64% ක පමණ කොටසක් කොන්ක්‍රීට් කිරිමට සිදු වන බවත්, ඒ සදහා කොන්ක්‍රීටි නිදපදවීම ද  ව්‍යාපෘති භූමිය තුලම සිදුකෙරේ . මෙම ව්‍යාපෘතිය මගින් පරිසර හානිය අවම කරගනිමින්, විශ්වවිද්‍යාල සිසුන්ට ද  දැනුම ලබා දෙමින් සිදු කරන බවත් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරුවරයා  ප්‍රකාශකලා.  ව්‍යාපෘතිය නිසා අගතියට පත් ජනතාව සදහා වන්දි මුදල් ලබාදි ඇති බවත්,  ලිං සිදී යෑම ආදි තත්වයන් සදහා ද විසදුම් ලබාදී ඇති බවත් අනාවරණය විය.

උමං මාර්ගය ද ඇතුළුව උතුරු මැද මහ ඇල සමස්ත ව්‍යාපෘතියම අවසන් වූ පසුව මහකනදරාව, පදවිය, වාහල්කඩ, යාං ඔය යන ජලාශ යටතේ පානීය ජලය ලබා දීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් පෝෂණය වන කුඩා වැව් සංඛ්‍යාව 1505 කි. යාං ඔය හරහා පවතින ඉලුක්වැව, අල්ලේ පොතාන හා යෝජිත බ්‍රාහ්මණයාගම අමුණ යටතේ හෙක්ටයාර 3000කට වාරි ජලය සැපයේ. පාවට්ටකුලම් හා ඉරණාමඩු ජලාශ හා යෝජිත කිවුල් ඔය ජලාශය යටතේ ප්‍රතිලාභ ලබන ප්‍රදේශවලට වාරිය ජලය සැපයිය හැකිය. මිරිදිය මතස්‍ය කර්මාන්තය ද දියුණු මට්ටමකට පැමිණේ. අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් වන රක්ෂිත ස්ථාපනය  කිරීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදුකරයි. සත්ත්ව පාලනයට ද පහසුකම් සැලසෙන අතර සංචාරක කර්මාන්තයට ද මේ තුලින් විභවතාවයන් නිර්මාණය වේ.

ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොදුරුවාව සිට පලුගස්වැව දෙසට කිලෝමිටර් 3ක් පමණ දුරක් මේ වන විට හරා අවසන්. එසේම පලුගස්වැව සිට හබරණ දෙසට කිලෝමිටර් 11 ක් පමණ දුර ප්‍රමාණයක් ඉදිකර අවසන්ව ඇත.

මෙම නිරික්ෂණ චාරිකාව සදහා අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා, පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් ආර්.ජී.එස්.සී.කේ. විජේරත්න මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු ඊ.එම්.එස්.එම්.කේ. ඒකනායක මහතා ඇතුලු නිලධාරින් පිරිසක් එක්වුහ.