Wednesday, May 08, 2024
Follow Us
විදෙස් සිසුන් නෙරපීමේ තීරණය අවලංගුයි

කොරෝනා වසංගතය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමයට පත් කරන ලද පාඨමාලා හදාරන විදේශීය සිසුන් රටින් පිටමං කිරීමට මෙයට මාස කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් ගන්නා ලද තීරණය අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

මෙම තීරණය මේ ආකාරයෙන් අවලංගු කර ඇත්තේ එයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතන කිහිපයක් පියවර ගැනීමත් සමගය. මේ වනවිට මෙම පාර්ශ්ව මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

සිය අධ්‍යාපන පාඨමාලා ඔන් ලයින් ක්‍රමයට පරිවර්තනය කරන ලද අධ්‍යාපන ආයතනවල සිසුන්ට තවදුරටත් ඇමරිකාව තුළ රැඳී සිටීමට ඉඩ නොදෙන බව පසුගිය මාර්තු මාසයේ රජය විසින් නිවේදනය කරන ලදී. එම සිසුන් ඒ අනුව තම රටවල සිට එම පාඨමාලා හැදෑරිය යුතු විය.

ඒ වනවිටත් නිවාඩුවට සිය රටවලට ගොස් සිටි ඔන්ලයින් සිසුන්ට නැවත ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ නොදෙන බවද සඳහන් විය. මෙයට අනුගත නොවන සිසුන් රටින් පිටමං කරනු ඇති බවද ප්‍රකාශයට පත් කර තිබිණි. රට තුළ රැඳී සිටීමට අවසර හිමිවන බැව් පැවසුණේ සිසුන් පුද්ගලයන් වශයෙන් සහභාගි වන පාඨමාලා හදාරන අයට පමණි.

ඇතැම් පාර්ශ්ව මෙම තීරණය සැලකුවේ වයිරස ව්‍යාප්තිය සමග වසා තිබූ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන නැවත විවෘත කර ගැනීමේ යටි අරමුණෙන් ගන්නා ලද තීරණයක් ලෙසිනි. කෙසේ හෝ වේවා, ඉහත කී තීරණය අවලංගු කිරීමත් සමග දැන් නැවතත් සිසුන්ට ඇමරිකාව තුළ රැඳී සිටිමින්ම අවශ්‍ය නම් ඔන්ලයින් ක්‍රමයට පාඨමාලා හැදෑරීමට අවස්ථාව සැලසෙනු ඇත.


(Aruna)