Wednesday, May 08, 2024
Follow Us
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතගේ චෝදනාවට ශ්‍රී ලංකාවෙන් උත්තර

සාමකාමීව එක්රැස්වීමේ නිදහස සහ ආශ්‍රය කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් එන්. වූලේ (Clement N. Voule) විසින් කර ඇති චෝදනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.

විශේෂ නියෝජිත ක්ලෙමන්ට් විසින් පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සභාවේ 44 වැනි සැසිවාරයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සමයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ විසින් රටේ විවිධ පුද්ගල කණ්ඩායම් පරීක්ෂණය කරමින් සිටින බවත් එම ප්‍රජාවන්වල නිදහස හා අයිතිය සීමා කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

මෙම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් ජිනීවාහි මෙරට වැඩ බලන නිත්‍ය නියෝජිත දයාන් මෙන්ඩිස් විශේෂ පිළිතුරු වාර්තාවක් සම්පාදනය කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව සඳහා සාමාන්‍ය ආරක්ෂක ජාල ක්‍රියාත්මක කිරීම හැරුණු විට කිසිදු විශේෂ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

ලොව පුරා අන්තවාදී කණ්ඩායම්වලට මුහුණ දීම සඳහා නවීන ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු වාතාවරණයක් හමුවේ ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණවලට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් වන ලෙසද ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇත.

සෝදිසි කිරීම් හා බිය වැද්දීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් විධිමත්ව පැමිණිලි කිරීමට, නීතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ ජාතික පොලිස් කොමිසම වැනි ස්වාධීන ජාතික ආයතන ස්ථාපනය කර ඇති බවත් ඒවා නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයනට ආරාධනා කර ඇත.

ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී කතා සහ වෛරය ඇවිළවීමේ ප්‍රකාශ වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් හඳුන්වා දීමට සලකා බලමින් සිටින බවද ශ්‍රී ලංකාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

(Aruna)