Saturday, October 31, 2026
Follow Us
ඩිජිටල් පරිවර්තනය තුළින් කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට සැලසුම්
ඩිජිටල් පරිවර්තනය තුළින් කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) කොළඹදී ආරම්භ විය.

 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ආසියානු පැසිෆික් පුහුණු මධ්‍යස්ථානය (APCICT) සමග එක්ව සංවිධානය කළ මෙම තෙදින පුහුණු වැඩසටහන මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී, තෝරාගත් පුහුණුකරුවන් පනස්දෙනෙක් වෙත මෙම විශේෂ පුහුණුව ලබාදෙන ලදී. ඩිජිටල් ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකත්වය සාර්ථක වීමට අවශ්‍ය දැනුම ලබාදීම හා ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. දත්ත රැස්කිරීම, දත්ත විශ්ලේෂණය, විද්‍යුත් වාණිජ්‍ය (E- Commerce), ඩිජිටල් අලෙවිකරණය, කෘතිම බුද්ධිය(AI) යන ක්ෂේත්‍ර පිළිබඳව මෙම වැඩසටහනේදී අවධානය යොමු කරන ලදී.
 
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසාය අංශය සංවර්ධනය සඳහා ඩිජිටල් පරිවර්තනයක් අත්‍යාවශ්‍ය වන බවත් මෙම අංශයේ පූර්ණ විභවය මුදා හැරීමට නම් ඵලදායි, නව්‍ය, තරගකාරී සහ තිරසාර ව්‍යවසායන් බිහිකිරීම කළ යුතු බව පැවසුවාය. ඒ සඳහා ව්‍යවසායකයින් ශක්තිමත් කළ හැකි දක්ෂ පුහුණුකරුවන්ගේ ශක්තිමත් සහ තිරසාර ජාලයක් ඇති කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ බවද ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
 
ආසියානු පැසිෆික් පුහුණු මධ්‍යස්ථානයේ Nuankae Wongthawatchai (Programme Management Officer, UN APCICT), Irene Boey (Founder, Irene AI Training & Consulting Consultant & Resource Expert for UN APCICT) , Koh Yoet Siang (AI, Digital Marketing & Ecommerce Trainer), Maria Juanita Macapagal (Social Development Consultant) ගේ සම්පත් දායකත්වය මෙම තෙදින වැඩමුළුව සඳහා ලබාදෙන ලදී.
මෙම වැඩමුළුව සඳහා ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරංග ගුණරත්න, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ පොදු ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ M.S.M. සෆ්රාස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාන් චාමර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.