"ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය මව්බිමේ සංවර්ධනයට" යන තේමාව යටතේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ (GAMOA) 21 වන සම්මේලනය පසුගියදා (26) කොළඹ දී පැවැත්විණ.
එම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ "සෞඛ්‍ය පද්ධතියේ ප්‍රධානතම අවධානය ආයතන, වෘත්තිකයන් හෝ පරිපාලන ක්‍රියාවලීන් වෙත නොව රෝගියා වෙත යොමු විය යුතු බවත්, සෑම රෝගියෙකුටම ගෞරවාන්විත හා ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය සවිබල ගැන්වීමට රජය කැපවී සිටින බවයි."
එහිදී ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ සහ සංගමයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ නිලධාරීන් ඇගයීමට ලක් කරමින් සමරු තිළිණ ප්රදානය කිරීම ද සිදුවිය. එමෙන්ම රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ මධ්‍යම පළාත් ලේකම් වෛද්‍ය දිනේෂ් චතුරංග මහතා විසින් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය නංවාලීම උදෙසා රජයට ඉදිරිපත් කරන ලද යෝජනා 17 කින් යුත්, සමුළු යෝජනාවලිය ද සභාවට ඉදිරිපත් කරන ලදි.
උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට හිමි ආයුර්වේද උරුමය සුරක්ෂිත කරන අතරම, නූතන විද්‍යාත්මක සංවර්ධනය සහ වෘත්තීය ප්රමිතීන් ඔස්සේ ජනතාවගේ වෙනස්වන සෞඛ්‍ය අවශ්‍යතා සපිරීමට ආයුර්වේද වෛද්‍යවරුන් ඉදිරිපත් විය යුතු බවයි. රෝගීන් මුහුණදෙන අනවශ්‍ය ප්‍රමාදයන් සහ සේවා ලබාගැනීමේදී මතුවන ගැටලු නිරාකරණය කරමින්, ආයතන කේන්ද්‍ර කරගත් සේවාවක සිට රෝගියා කේන්ද්‍ර කරගත් සත්කාරයක් දක්වා වෘත්තීය සංස්කෘතිය වෙනස් විය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
එසේම රෝගීන්ගේ ආර්ථික, සාමාජික, ජාතික හෝ ආගමික පසුබිම කුමක් වුවත් ඔවුන් වෙත කරුණාවන්ත සහ ගෞරවනීය සේවාවක් සැලසිය යුතු බවත්, රෝග වළක්වා ගැනීම (Prevention) සහ ප්‍රජා සෞඛ්‍යය නංවාලීම වෙනුවෙන් ආයුර්වේද වෛද්‍යවරුන් පුළුල් දායකත්වයක් ලබාදිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය උපුල් කොන්දසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, දේශීය වෛද්‍ය වෘත්තිය සවිබල ගන්වමින් ජනතාවගේ සෞඛ්‍යය සුරැකීමටත්, ආයුර්වේද ක්ෂේත්රයට හානි පමුණුවන ව්‍යාජ වෛද්‍යවරුන් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
මෙම වාර්ෂික මහා සම්මේලන අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන, හිටපු ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී ගීතාමනී සී. කරුණාරත්න, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති මහාචාර්ය මහේෂ් ප්රියදර්ශණ, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය අජිත් උපශාන්ත, උතුරු පළාත් ලේකම් වෛද්‍ය ගෝපාල් චන්ද්‍රන් බාලරූබන් යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් කොමසාරිස්වරුන්, විද්වතුන් සහ වෛද්‍යවරුන් විශාල පිරිසක් එක්ව සිටියහ