Wednesday, October 28, 2026
Follow Us
පිඹුර - අගලවත්ත උප තැපැල් කාර්යාලය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබේ
වසර 10 ක් පුරා නවතා දමා තිබූ තැපැල් ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කරමින් පසුගිය වසර දෙක තුළ පමණක් නව තැපැල් කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 100 ක මුදලක් සහ තැපැල් කාර්යාල නවීකරණය සහ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 120 ක මුදලක් රජය යොදවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) පිඹුර - අගලවත්ත නව උප තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
 
රුපියල් ලක්ෂ 66.3 ක (රුපියල් මිලියන 6.63) වියදමින් ඉදිකෙරෙන මෙම උප තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස 03 ක වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට නියමිත අතර, මෙමගින් සෘජුවම සේවය සලසන පවුල් සංඛ්‍යාව 2,600 කි.
 
දියුණු ප්‍රදේශයක් ලෙස පිඹුර ප්‍රදේශය සංවර්ධනය කළ යුතු බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, එය උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමේදී ඊට අනුරූපව රෝහල් සහ අනෙකුත් රාජ්‍ය ගොඩනැගිලි සංවර්ධනය ද සිදුවිය යුතු බවත්, එම නගර සංවර්ධන අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙම නව උප තැපැල් කාර්යාලය ඉදිකිරීමට පියවර ගත් බව ද කියා සිටියේය.
 
පසුගිය කාලසීමාවේ නොසලකා හැර තිබූ තැපැල් ක්ෂේත්‍රය යළි නංවාලීමට රජය පියවර ගෙන ඇති බවත්, ඒ අනුව දැනටමත් තැපැල් කාර්යාල 13 ක් සහ උප තැපැල් කාර්යාල 03 ක් ඉදිකර අවසන් කර ඇති අතර, තවත් තැපැල් කාර්යාල 06 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බව ද පෙන්වා දුන්නේය.
 
මෙම වසර තුළ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තබන 07 වන තැපැල් කාර්යාලය මෙය බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
 
කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල 34 ක් සහ උප තැපැල් කාර්යාල 130 ක් ද වෙයි.